2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේ දී බරපතළ රිය අනතුරක් සිදුකිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා ජනවාරි මස 20 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව ඊයේ (18) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුළි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතා අධිකරණයට දැනුම් දුන්නේ, මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බවයි.
එහිදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට විරුද්ධව සිය සේවාදායකයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ අභියාචනයක් එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුවට අදාළ ඉතා වැදගත් මඟ පෙන්වීම් කිහිපයක් සිදුකර තිබෙන බව සඳහන් කර සිටියා.











