දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබුවා.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේයි මෙම නඩු විභාගයට ගැනුණේ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයට කුලී පදනම මත වාහන මිලදී ගැනීමේදී සිදුකළ අවිධිමත් ක්‍රියාවලින් රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩු දෙක ගොනු කර තිබුණා.
මින් එක් නඩුවක් කැඳවූ අවස්ථාවේදී විත්තියේ සාක්ෂි කැඳවීම සිදුවූ අතර, ඒ යටතේ විත්තිකාර සරණ ගුණවර්ධන විත්තිකුඩුවේ සිට අධිකරණයට ප්‍රකාශ කළේ, යුදමය වාතාවරණය පැවති අවස්ථාවේ තමන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ බවත්, එම වකවානුවේ ලොතරැයි අලෙවිය පහත වැටී තිබූ බවයි.
එහිදී ලොතරැයි අලෙවිය නගා සිටුවීම සඳහා නව ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවූ බවත්, ඒ සඳහා මෙම වාහන කුලී පදනම මත ලබා ගැනීමට සිදුවූ බවත්, ඔහු සඳහන් කර සිටියා.
එමෙන්ම මෙම ක්‍රියාවලියේදී කිසිදු ආකාරයක අක්‍රමිකතාවක් සිදු නොවූ බවයි ඔහු සඳහන් කළේ.
ඉන් අනතුරුව එම නඩුව යළි ජනවාරි මස 26 වැනිදා කැඳවීමටද නියම වූවා.
මේ අතර සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කර තිබූ තවත් නඩුවක් කැඳවීමට නියම වූයේ දෙසැම්බර් මස 16 වැනිදායි.










