සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි අද (15) දින දිවයිනට රැගෙන ඒමට නියමිතව බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.
නේපාල ආරක්ෂක අංශ සමග සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක දී ඇය නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර 18ක පමණ දුරින් පිහිටි නිවසක රැඳී සිටිය දීයි අත්අඩංගුවට ගනු ලැබුවේ.
ඉෂාරා සෙව්වන්දි සමග තවත් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ සමීපතමයෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි වාර්තා වන්නේ.
‘ගණේමුල්ල සංජීව’ ඉකුත් පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩිතබා ඝාතනය කරනු ලැබූ අතර එය සිදු කර තිබුණේ කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වය විසින්.
ඝාතනය සිදුකළ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව එදිනම පුත්තලම, පාලවිය ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගත් අතර, අනතුරුව විමර්ශන නිලධාරීන් අධිකරණ සංකීර්ණයේ පිහිටි CCTV කැමරා පරීක්ෂා කළ අතර එහිදී අනාවරණ වූයේ කාන්තාවක් ද වෙඩික්කරුගේ සහායට පැමිණ ඇති බවයි.
ඇය මිනුවන්ගොඩ පදිංචි ඉෂාර සෙව්වන්දි නම් කාන්තාව බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණු අතර අදාළ කාන්තාව නීති ක්ෂේත්‍රයේ භාවිත කරන පොතක් තුළ වෙඩිතැබීම සඳහා භාවිත කළ ගිනිඅවිය රැගෙන විත් ඇති බවට ද එහිදී හෙළිවූවා.









