කැනඩාවේ ගොවිපොලවල කම්කරු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 52ක මුදලක් වංචාකළ පුද්ගලයකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ විශ්‍රාමික වතු කළමනාකරුවෙකු වන සැකකරු ගාල්ල හා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් කැනඩාවේ රැකියා ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 13 බැගින් මුදල් ලබාගෙන ඇති බවයි.
මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි විදේශ රැකියා ලබානොදීම හේතුවෙන් එම පුද්ගලයින් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් වරකාපොල, අඹගලකන්ද ප්‍රදේශයේ සැකකරුගේ නිවසේදීයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබී සයිප්‍රස් රාජ්‍යයේ රැකියා ලබාදීමට රු.75,000 බැගින් ලබාගත් ගිවිසුම් 3ක්ද නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
මේ අතර ස්විට්සර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 17ක මුදලක් වංචාකළ කාන්තාවක්ද පසුගියදා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
වස්කඩුව ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකාරිය කළුතර ප්‍රදේශයේ පදිංචි අයෙකු ගෙන් මුදල් ලබා ගෙන ඇති අතර, රැකියාව ලබා නොදීම හේතුවෙන් ඔහු විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර තිබෙනවා.
එම කාන්තාව කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක මහජන සම්බන්ධතා නිලධාරිනියක වශයෙන් සේවය කරන තැනැත්තියක් වන අතර,අදාළ පැමිණිල්ල මත සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් කිහිපවරක් උත්සහ කළද ඇය නිලධාරීන් මග හැර සැඟව සිට ඇති බව සඳහන්.
පසුව එම සැකකාරිය සේවය කරන පුද්ගලික රෝහලේ සිටින බවට ලද තොරතුරක් මත විමර්ශන නිලධාරීන් විසින් අදාළ ස්ථානයේදී සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ අදාළ කාන්තාව මෙම මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි.










