උණුසුම් පුවත්

හෙට 21 රැලිය හේතුවෙන් රථවාහන ගමනාගමනයට සීමා

මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී හෙට (21) දහවල් පැවැත්වීමට නියමිත මහජන රැළිය හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදු වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

පොලිසිය ප්‍රකාශ කළේ මෙම මහජන රැළිය සඳහා සහභාගි වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රභූවරුන්, දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින්, පාක්ෂිකයින් හා පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙලෙස විශේෂ රථවාහන හා ආරක්‍ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව හෙට දහවල් 02.00 සිට රැළිය අවසන්වන තුරු නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටසෙහි (ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිට මාර්ගය) රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව සඳහන්.

අදාළ කාලය තුළ එම මාර්ග භාවිතා කරන රියදුරන් හා මහජනතාවට ඇති විය හැකි අපහසුතා මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

භාවිතා කළ හැකි විකල්ප මාර්ග..

කොළඹ දෙස සිට හා කොහුවල දෙස සිට නුගේගොඩ නගරය හරහා නාවල දෙසට හා පිටකෝට්ටේ දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දියෙන් වමට කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන දෙසට හා නාවල දෙසට ගමන් කළ හැකිය.

පිටකෝට්ටේ දෙස සිට නාවල දෙස සිට නුගේගොඩ නගරය හරහා හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන නාවල වටරවුමෙන් කට්ටිය හන්දියෙන් ගම්සභා හන්දිය හා දෙල්කඳ හන්දියෙන් හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කළ හැකිය.

මහරගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔසසේ නුගේගොඩ නරගය දෙසට ගමන් කරන වාහන ගම්සභා හන්දියෙන් දකුණට කට්ටිය හන්දිය ඔස්සේ ගමන් කළ හැකිය.

Shares: