උණුසුම් පුවත්

විදේශිකයින්ට රියදුරු බලපත්‍ර ලබාදිමේ දී ගාස්තු සංශෝධනයක්

විදේශිකයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව විදේශ පුරවැසියෙකුට මාසයක කාලසීමාවක් සඳහා තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේ දී මෙතෙක් අය කළ රුපියල් 2,000ක මුදල රුපියල් 15,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එහිදී මාසයකට වැඩි සහ මාස දෙකක් දක්වා කාලසීමාව සඳහා රියදුරු බලපත්‍රයක් ලබාදීමට අය කරන මුදල රුපියල් 21,000ක් වන අතර මාස දෙකකට වැඩි සහ මාස 6ක් දක්වා කාලසීමාවක් සඳහා රියදුරු බලපත්‍රයක් ලබාදීමට අය කරන මුදල රුපියල් 30,000ක්.

එමෙන්ම මාස 6කට වැඩි සහ මාස 12ක් දක්වා කාලසීමාවක් සඳහා විදේශ පුරවැසියෙකුට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අය කරන මුදල රුපියල් 45,000ක් වන බවයි ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ඊට අමතරව විදේශ පුරවැසියෙකුට රියදුරු බලපත්‍රයක් අලුත් කිරීම සඳහා අය කරන මුදල රුපියල් 15,000ක් වන අතර රියදුරු බලපත්‍රය විනාශ වී හෝ හානී වී ඇත්නම් එම රියදුරු බලපත්‍රයේ අනු පිටපතක් නිකුත් කිරීම සඳහා අයකරනු ලබන ගාස්තුව රුපියල් 15,000ක් වන බව සඳහන්.

එසේම ශ්‍රී ලංකාවෙන් බැහැරව නිකුත් කරන ලද රියදුරු බලපත්‍රයක් හෝ ඒ හා සමාන රියදුරු බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකික පුරවැසියෙකුට නව රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා මෙතෙක් අය කළ රුපියල් 3,300ක මුදල රුපියල් 30,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

තවද එම අමාත්‍යාංශය කියා සිටියේ ශ්‍රී ලංකාවෙන් බැහැරව නිකුත් කරන ලද රියදුරු බලපත්‍රයක් හෝ ඒ හා සමාන රියදුරු බලපත්‍රයක් හිමි විදේශිකයෙකු සඳහා නව රියදුරු බලපත්‍රයක් ලබාදීමට මෙතෙක් අයකළ රුපියල් 15,000ක මුදල රුපියල් 60,000 දක්වා ඉහළ නංවා ඇති බවයි.

Shares: