විදෙස්

ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනමට පෙර යොවුන් ගිණුම් වසා දැමීමට Meta සූදානම්

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 න් පහළ ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම පැනවීමට පෙර, Instagram, Facebook සහ Threads යන සමාජ මාධ්‍යහි සිටින තරුණ ඕස්ට්‍රේලියානු යෞවනයන්ගේ ගිණුම් වසා දමන බව දැනුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම සමාජ මාධ්‍ය නාම තුනම හිමි Meta සමාගම විසින්, වයස අවුරුදු 13 ත් 15 ත් අතර යැයි විශ්වාස කරන පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් දෙසැම්බර් 4 වන දින සිට අක්‍රිය කිරීම ආරම්භ කරන බවට කෙටි පණිවුඩ, විද්‍යුත් තැපෑල සහ යෙදුම තුළ පණිවිඩ මගින් දැනුම් දීමට පටන් ගෙන ඇති බවයි.

ඕස්ට්‍රේලියානු රජය පැනවූ මෙම තහනම දෙසැම්බර් 10 වන දින සිට බලාත්මක වීමටයි නියමිතව ඇත්තේ.

එය TikTok, YouTube, X සහ Reddit ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා ගණනාවකට බලපානු ලබයි.

එම පියවර “ලෝකයේ ප්‍රමුඛ” තහනම “ළමයින්ට ළමයින් වීමට ඉඩ දීම” අරමුණු කරගත්තක් බවයි ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ නමුත් මෙටා සහ අනෙකුත් සමාගම් මෙම පියවරට විරුද්ධ වුවද ඔවුන් එයට අනුකූල වන බව මාධ්‍ය වාර්තා පවසනවා.

ඕස්ට්‍රේලියාව විසින් ඇස්තමේන්තු කර ඇත්තේ වයස අවුරුදු 13-15 අතර වයස් කාණ්ඩයේ ෆේස්බුක් පරිශීලකයින් 150,000 ක් සහ ඉන්ස්ටග්‍රෑම් හි යෞවනයන් 350,000 ක් සිටින බවටයි.

මේ අනුව දෙසැම්බර් 4 වන දින සිට, වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට Meta හි සමාජ මාධ්‍ය වේදිකාවල ගිණුම් නිර්මාණය කිරීමට නොහැකි වනවා.

තරුණ පරිශීලකයන්ට ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලැබූ විට ඔවුන්ට දැනුම් දිය හැකි වන පරිදි ඔවුන්ගේ සම්බන්ධතා තොරතුරු යාවත්කාලීන කරන ලෙස ඉල්ලා සිටින බවයි එම සමාගම නිවේදනය කර ඇත්තේ.

එමෙන්ම ඔවුන්ගේ ගිණුම් වසා දැමීමට පෙර ඔවුන්ට ඔවුන්ගේ සටහන්, වීඩියෝ සහ පණිවිඩ බාගත කර සුරැකිව තබා ගැනීමේ හැකියාවක් පවතිනවා.

කෙසේ වෙතත් මෙම අක්‍රිය කිරීම් හමුවේ Instagram, Facebook සහ Threads භාවිතා කිරීමට හැකි නිසි වයස සැපිරූ යෞවනයන් සිටීනම් එයට තමන්ගේ මුහුණු ස්කෑන් කිරීමේ ක්‍රියාවලියක් ඒ සඳහා භාවිතා කර “video selfie”යක් යොමු කිරීම මගින් එම පැනවූ සීමාවන්ට අභියෝග කළ හැකි බවයි Meta සමාගම දන්වා සිටින්නේ.

ඒමෙන්ම ඔවුන්ට රියදුරු බලපත්‍රයක් හෝ රජය විසින් නිකුත් කරන ලද වෙනත් හැඳුනුම්පතක් ද ලබා දිය හැකි බවත් පවසනවා.

මෙම සියලු සත්‍යාපන ක්‍රම මෙම වසර මුලදී එක්සත් රාජධානිය පදනම් කරගත් වයස් පරීක්ෂා සහතික කිරීමේ යෝජනා ක්‍රමය (ACCS) විසින් ඕස්ට්‍රේලියානු රාජ්‍යය විසින් පත් කරන ලද වාර්තාවක පරීක්ෂා කර ඇති බව ද සඳහන්.

මේ අතර එරට රජය දැනුම් දෙන්නේ වයස අවුරුදු 16 ට අඩු ළමයින් සම්බන්ධයෙන් මෙම “සාධාරණ පියවර” ගැනීමට අපොහොසත් වන සමාජ මාධ්‍ය වේදිකාවලට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50 දක්වා වූ දඩ මුදලක් ගෙවීමට සිදු වන බවයි.

එසේම මෙටා සමාගමට අවශ්‍ය වන්නේ වයස අවුරුදු 16 ට අඩු ළමයින් සමාජ මාධ්‍ය යෙදුමක් බාගත (download) කිරීමට පෙර දෙමාපියන්ගේ අනුමැතිය ලබා ගත යුතු නීතියක් දැකීමට බවද මාධ්‍ය වාර්තාවල සඳහන්.

Shares: