විපක්ෂයේ පක්ෂ රැසක් එක්ව සංවිධානය කරන ”මහා ජන හඬ” රැස්වීම පැවැත්වෙන පරිශ්‍රයෙන් පිටත සවිකර තිබු ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
එම රැලිය පැවැත්වෙන පරිශ්‍රය අවට පිහිටි විභාග මධ්‍යස්ථානවල අද (21) පෙරවරු 08.30 සිට පෙරවරු 11.40 දක්වාත් පස්වරු 02.00 සිට පස්වරු 05.00 දක්වා අපොස උසස්පෙළ විභාගය පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඔවුන්ට බාධා එල්ල නොවිය යුතු බවටයි පොලීසියෙන් නිවේදනයක් නිකුත්කර තිබුණේ.
එබැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී එම පරිශ්‍රය තුළ පමණක් භාවිත කරන ලෙස පොලීසිය සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටියා.
එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ විභාග සඳහා සහභාගීවන හා විභාග කටයුතු අවසන් කර පිටව යන සිසුන්ට බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙසයි.
ඒ අනුව රැස්වීම පැවැත්වෙන පරිශ්‍රයෙන් පිටත සවිකර තිබු ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා ඉවත් කිරීමටයි පොලීසිය කටයුතු කළේ.
ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කරන “මහා ජන හඬ” රැලිය අද පස්වරු දෙකට නුගේගොඩ “ආනන්ද සමරකෝන්” එළිමහන් රංග පීඨයේදී තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.
කෙසේ වෙතත් මෙම ජනරැලිය සඳහා සමගි ජන බලවේගය, සර්වජන බලය හා ජාතික නිදහස් පෙරමුණ සහභාගි වන්නේ නැහැ.
එහි සූදානම පිළිබඳ සොයා බැලීම සඳහා විපක්ෂ දේශපාලන නියෝජිතයින් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ සිටියා.











