විදෙස්

ඉම්රාන් ඛාන් ඝාතනය කරලා ද ?

සිරගත කර සිටින හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මියගිය බවට පැතිර යන කටකතා මධ්‍යයේ, තම සහෝදරයා හමුවීමට අවසර ඉල්ලා රාවල්පිණ්ඩිහි අඩියාලා බන්ධනාගාරය (Adiala Jail) ඉදිරිපිට රැස්ව සිටි ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තිදෙනාට සහ පාකිස්ථාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ආධාරකරුවන්ට පොලිසිය විසින් “බිහිසුණු ලෙස පහර දුන්” බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් වන නෝරීන් ඛාන්, අලීමා ඛාන් සහ උස්මා ඛාන් මෙම ප්‍රහාරයට ලක්ව ඇති අතර, සති තුනකට වැඩි කාලයක් තිස්සේ තම සහෝදරයා හමුවීමට අවසර නොලැබුණු බවයි ඔවුන් පවසන්නේ.

PTI පක්ෂය ප්‍රකාශ කළේ, ඛාන්ගේ සහෝදරියන් සහ ආධාරකරුවන් බන්ධනාගාරය ඉදිරිපිට වාඩි වී සිටියදී, “ඉම්රාන් ඛාන් හමුවීමට උත්සාහ කිරීමේ වරදට” පොලිස් නිලධාරීන් ඔවුන් වෙත කඩා පැන “බිහිසුණු ලෙස පහර දුන්” බවයි.

පන්ජාබ් පොලිස් ප්‍රධානියා වෙත ලිපියක් යොමු කරමින් ඛාන්ගේ සහෝදරියන් කියා සිටියේ, මෙම ප්‍රචණ්ඩත්වය “කෲර, සංවිධානාත්මක හා කිසිදු ප්‍රකෝප කිරීමකින් තොරව පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද්දක්” බවයි.

“අපි ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කනස්සල්ලෙන් සාමකාමීව විරෝධය දැක්වූවා. අපි මාර්ග අවහිර කළේවත්, නීති විරෝධී කටයුත්තක නිරත වුණේවත් නැහැ. එහෙත්, කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව විදුලි පහන් නිවා දමා, පන්ජාබ් පොලිස් නිලධාරීන් කෲර ලෙස පහරදීමක් සිදු කළා.” යනුවෙන් ඔහුගේ නැගණියක වන නෝරීන් නියාසි මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඇය වැඩිදුරටත් චෝදනා කළේ, “71 වියේ පසුවන මා හිසකෙස්වලින් අල්ලා, ප්‍රචණ්ඩ ලෙස බිමට ඇද දමා, පාර දිගේ ඇදගෙන ගිය අතර, එයින් තුවාල සිදුවූ” බවයි

PTI පක්ෂයේ ප්‍රධානී ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට බහු නඩු හේතුවෙන් අඩියාලා බන්ධනාගාරයේ සිරගත කර ඇති අතර, PTI පක්ෂයට අනුව, ඛාන් මේ වන විට සම්පූර්ණ හුදකලාව සහ තනි සිරදඬුවම් යටතේ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Shares: