උණුසුම් පුවත්

කැලණි ගඟ දෙපස පහත්බිම්වලට මහ ගංවතුර තත්ත්වයක්

කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටයි සඳහන් වන්නේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැලණි ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට අධික වැසි ඇදහැලෙමින් ඇති බවයි.

එම වර්ෂා තත්ත්වය ද, කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශවලින් පිටකරනු ලබන ජල ප්‍රමාණය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගංගා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ තත්ත්වයෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් හා මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Shares: