උණුසුම් පුවත්

කටුනායකට ආ ගුවන් යානා 06ක් හරවා යැවේ – මගීන්ටත් දැනුම්දීමක්

කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06ක් මත්තල, ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ, ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ සලාම් ගුවන් සේවයේ ඕ.වී.- 437 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇති බවයි.

එමෙන්ම ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226, ඕමානයේ මස්කට් නුවර සිට පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 සහ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණෙමින් තිබූ එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ- 047යන ගුවන් යානා 03 ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඊට අමතරව කටුනායක ගුවන්තොටුපොළ වෙත දමාම් නුවර සිට පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 254 දරණ ගුවන් යානය සහ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණෙමින් තිබූ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 277 දරණ ගුවන් යානය ද ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබෙනවා.

ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇති එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 ගුවන් යානය කිහිපයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට උත්සාහ දරා ඇති අතර එය අසාර්ථක වීම නිසා යළිත් ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට මෙලෙස පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

එහිදී කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ, කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ ගුවන් ගමන් බාධාවකින් තොරව පවත්වා ගැනීමේ පරිසරයක් පැවතියද , එයින් පිටත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය මෙම ගුවන්යානාවලට බාධාවක් වී ඇති බවයි.

එහෙත් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ ඉන් පිටත්වන ගුවන් යානා රාශියක් සිය මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකර ගෙන යමින් සිටින බවද සඳහන්.

මේ අතර දිවයිනට බලපාන ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, ගුවන් තොටුපළට යාමට පෙර www.srilankan.com වෙබ් අඩවියෙන් නවතම ගුවන් ගමන් තත්ත්වය පරීක්ෂා කර ගන්නා ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවය මගීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එසේ නොමැති නම් 1979 ක්ෂණික දුරකථන අංකයට හෝ +94 117 77 1979 අංකය අමතා තොරතුරු ලබාගන්නා ලෙසයි ශ්‍රීලන්කන් ගුවන් සේවය දැනුම් දෙන්නේ.

Shares: