දේශීය

ගතවූ පැය 24ට වැඩිම වැස්ස අකුරැස්සෙන්

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නිල්වලා ගඟ ආශ්‍රිතව අකුරැස්ස ප්‍රදේශයට ඇදහැලී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමණාකරණ) ඉන්ජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවා.

මී.මී. 125කට ආසන්න වැස්සක් එම ප්‍රදේශයට ඇදහැලී ඇති බවයි අද (5) පෙරවරුවේ නිවේදනයක් නිකුත්කරමින් ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් අනෙකුත් බොහෝ ප්‍රදේශවලට සාමාන්‍ය වර්ෂාපතනයක් ඇදහැළුණු බවත්, ගංගාවල ජල මට්ටමේද ලොකු වැඩිවීමක් නොපෙන්වන බවත් හෙතෙම කියා සිටියා.

ඒ අනුව අධ්‍යක්‍ෂවරයා පෙන්වා දුන්නේ අනෙක් ප්‍රදේශවලට වර්ෂාව නොමැතිවීම තුළ ගංගාවල ජල මට්ටම් වැඩිවීමක් නොමැති බවයි.

මේ අතර වැව් පද්ධතියේ අනතුරුදායක වාන් දමන තත්ත්වයක් නොමැති බවත්, බොහෝ වැව් වාන් මට්ටමේ හෝ සාමාන්‍ය ප්‍රමාණයකින් වාන් දමමින් තිබෙව බවයි ඔහු පැවසුවේ.

කෙසේ නමුත් වර්ෂාපතනය වැඩිවිමේ පුරෝකථයක් තිබෙන බවත්, ඒ හේතුවෙන් ඉදිරියේ දී වර්ෂාව ලැබීම අනුව ඒ ඒ ගංගාවෙහි මිනුම් මධ්‍යස්ථානයන්හි දත්ත සලකාබලා ජනතාව දැනුම්වත් කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

ඒ හේතුවෙන් කලබලවීමෙන් වළකින ලෙසත්, විධිමත් නිවේදන හැර කටකතා සම්බන්ධයෙන් සැලකිලිමත්වන ලෙසයි සූරියබණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

Shares: