හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනය අවසන් අදියරේ පසුවන බැවින් ඉහල අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත් නෙත්ති කුමාර හමුවේ අද(19) දැන්වූවා.
නීතිපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් හිටපු ජනාධිපතිවරයා එරෙහිව සිදු කරනු ලබන විමර්ශන කටයුතු අවසාන අදියරේ පසුවන බවින් ඉහල අධිකරණයක නඩු පැවරීමට කටයුතු කරන බව සඳහන් කරමින් ඒ බව දන්වා සිටියා.
ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධුර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට අදාලව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව සැකකරුට පවරා තිබුණා.
මෙම නඩුවේ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය පුද්ගලයෙකු බව කියන හිටපු ජනාධිපතිගේ ලේකම්වරයා වන සමන් ඒකනායකගේ විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස නීතිඥවරුන් ඉල්ලීමක් කර තිබුණා.
එම ඉල්ලීම සම්බන්ධයෙන් අද (19) අධිකරණයේදී කරුණු දැක්වීම සිදු වූ අතර එහිදී එම ලේකම්වරයා වෙනුවෙන් අධිකරණයෙන් ඉල්ලා තිබූ විදේශ ගමන් තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම ඉල්ලා අස් කරගන්නා බව ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණයට දැන්වුවා.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට කරන ලද ඉල්ලීම නිෂ්ප්‍රභා කරනු ලැබුවා.










