උණුසුම් පුවත්

රටපුරා ආපදා සහන වෛද්‍ය කණ්ඩායම් 504ක් ක්‍රියාත්මකයි

පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සහන සැලසීම සඳහා රට පුරා ආපදා සහන වෛද්‍ය කණ්ඩායම් 504ක් ක්‍රියාත්මක කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ “සුරැක්” ආපදා කළමනාකරණ හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ සම්බන්ධීකරණයෙන් මෙම සහන කණ්ඩායම් මේ වන විටත් රට පුරා ක්‍රියාත්මකයි.

මෙම වෛද්‍ය කණ්ඩායම් දිවයින පුරා පිහිටුවා ඇති සුරක්ෂා මධ්‍යස්ථාන 1,041ක් ආශ්‍රිතව සිය සේවා ලබා දෙමින් සිටින බවයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආපදා කළමනාකරණය සම්බන්ධව ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය ප්‍රකාශ කළේ.

එමෙන්ම සෙසු සියලු සහයෝගී ආයතන හා එක්ව ක්‍රියාත්මක කරන වෛද්‍ය කණ්ඩායම් විසින් සුරක්ෂා මධ්‍යස්ථානවල වෙසෙන ජනතාව 98.3%න්ම පරික්ෂාවට ලක් කර අවසන් බවත් අවශ්‍යතාව පරිදී ඖෂධ ලබාදී වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයින් අදාළ රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත යොමු කර ඇතැයිද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා.

මීට අමතරව අවශ්‍ය ස්ථාන හා ගම්මාන වෙත තවදුරටත් වෛද්‍ය කණ්ඩායම් අවශ්‍ය නම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1926 අංකය යටතේ දවසේ පැය 24 පුරා ඇමතිය හැකි බවයි විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Shares: