උණුසුම් පුවත්

නුවරඑළියේ වාරිමාර්ග පද්ධතියට සිදු වූ හානිය හා ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වාරි මාර්ගවලට සිදුව තිබෙන හානිය සොයා බැලීම සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් සමඟ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් අද (08) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ජනාධපති මාධ්‍ය අංශය පැවසුවේ මෙහිදී අයහපත් කාලගුණය හේතුවෙන් කොත්මලේ ජලාශය සම්බන්ධව රට තුළ පැනනැඟුණු විවිධ මත සම්බන්ධව මෙහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසූ බවයි.

ඉතිහාසයේ වැඩිම ජල ප්‍රමාණයක් පසුගිය 27 වැනිදා කොත්මලේ ජලාශයට ලැබුණු බවත්, එම නිසා කොත්මලේ වේල්ල ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සාම්ප්‍රදායික ක්‍රමයට අනුව විද්‍යාත්මක ලෙස වාන් දොරටු විවෘත කළ බවත් මෙහිදී නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 4700කට හානි සිදුව තිබෙන බවත් පෙන්වා දුන් නිලධාරීන්, අක්කර 500ක් හැර සෙසු කුඹුරු මහ කන්නය වගා කළ හැකි බවයි ප්‍රකාශ කර ඇත්තේ.

නුවරඑළිය දිස්ත්‍රික්කය ජල ගැලීම්වලින් යටවීමට හේතුව සොයා බැලූ ජනාධිපතිවරයාට, අනවසර ඉදිකිරිම්, ඇළ මාර්ග පටුවීම සහ ග්‍රෙගරි වැවේ සොරොව්ව විශාල නොකිරීම බව මෙහිදී නිලධාරීන් පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ ග්‍රෙගරි වැව සම්බන්ධ අධීක්ෂණය සහ තාක්ෂණික සේවාවන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරා ආර්ථික ක්‍රියාකාරකම් නගර සභාව සමඟ ගිවිසුමකට එළැඹෙන ලෙසයි.

Shares: