උණුසුම් පුවත්

ජනතාව අවදානම් සහිත ස්ථානවලින් ඉවත් කිරීමට දැනුම් දෙයි

මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වල අවදානම් සහිත ස්ථානවල ජීවිත් වන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද රතු නිවේදනවලට අනුව මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හඳුනාගත් අවදානම් සහිත ස්ථාන සඳහා එම සංවිධානය විසින් නායයෑමේ රතු නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ අදාළ ස්ථානවල සිටින ජනතාව දෙසැම්බර් මස 9 වනදින සිට 19 වන දින දක්වා කාලය තුළ සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකරන ලෙසයි.

මෙහිදී දිස්ත්‍රික් ලේකම්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී, ශ්‍රී ලංකා පොලීසිය හා වෙනත් අදාළ පාර්ශ්වකරුවන්ගේ සම්බන්ධීකරණෙයන් මෙම ඉවත්කිරීමේ කටයුතු සිදුකරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත්තේ.

ඒ අනුව ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන ප්‍රදේශ පහතින්,

මහනුවර දිස්ත්‍රික්කය –

හතරලියද්ද, යටිනුවර, උඩුදුම්බර, පාතහේවාහැට, මැදදුම්බර, පස්භාගේකෝරළේ, දෙල්තොට, පූජාපිටිය, ගඟඉහළකෝරළේ, පන්විල, ගඟවටකෝරළේ, උඩපළාත, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, මිනිපේ, දොළුව, තුම්පනේ, අකුරණ, උඩුනුවර හා පාතදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය –

කෑගල්ල, ගලිගමුව, මාවනැල්ල, බුලත්කොහුපිටිය, අරනායක, යටියන්තොට, රඹුක්කන, වරකාපොළ

කුරුණෑගල දිස්ත්‍රික්ක –

මාවතගම, මල්ලවපිටිය, රිදීගම

මාතලේ දිස්ත්‍රික්කය –

නාඋල, විල්ගමුව, පල්ලෙපොළ, අඹන්ගඟකෝරළේ, ලග්ගල, පල්ලෙගම, උකුවෙල, රත්තොට, මාතලේ සහ යටවත්ත

මේ අතර දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන් අද (09) දිනයේ උතුර, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේ, මෙම වැසි තත්ත්වය ලබන 19 වන දින දක්වා පැවතිය හැකි බවයි.

Shares: