දේශීය

මියගිය හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කෙරේ

“දිට්වා” සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදුවූ නායයෑම් සහ ගංවතුර නිසා මරණයට පත්වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම ව්‍යවසනයෙන් යම් පුද්ගලයෙකුගේ, ඥාතියෙකු හෝ හිත මිතුරන් අතුරුදහන්ව ඇති බවට වාර්තා වී ඇතිනම් එම අතුරුදන් වූ තැනැත්තන්ගේ මරණ ලියාපදිංචිය සඳහා අවශ්‍යමය නීතිමය ප්‍රතිපාදන සකසා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ජාතික ව්‍යවසන පාත්‍ර ප්‍රදේශ, පරිපාලන දිස්ත්‍රික්ක වශයෙන් මරණ ලියාපදිංචි කිරීමේ තාවකාලික විධිවිධාන පනතට අනුව දෙසැම්බර් මස 2වන දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

ඒ අනුව මෙම ව්‍යසනය යටතේ අතුරුදන් වූ තැනැත්තෙකුගේ මරණය ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලා සිටින්නේ යම් තැනැත්තෙකුගේ ද ඒ තැනැත්තා පුරුද්දක් ලෙස වාසය කළ ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී වෙත තොරුතුරු සහිත ඉල්ලුම් පත්‍රයක් සහ එම කරුණු තහවුරු කරනු ලබන දිවුරුම් ප්‍රකාශයක් සමග ඉදිරිපත් කළ යුතු වනවා.

ග්‍රාම නිලධාරීවරයා විසින් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කරන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ආදාළ ග්‍රාමනිලධාරී කාර්යාලයේ සති දෙකක කාලයක් විරෝධතා සඳහා එය ප්‍රදර්ශනය කළ යුතු බවයි රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහිදී විරෝධතා නොමැතිනම් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අනුමැතිය සඳහා රෙජිස්ටාර් ජනරාල් විසින් බලය පවරන ලද කලාප භාර නියෝජ්‍ය හෝ සහකාර රෙජිස්ටාර් ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු වනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ විරෝධතා ඉදිරිපත් වුවහොත් ඒ සඳහා පරීක්ෂණයක් සිදුකර සුදුසු කටයුතු සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.

මේ යටතේ යම් පුද්ගලයෙකු දක්නට නොමැති බවට වූ සහතිකයක් ඉල්ලීම් කර ඇති විට ඉහත පරිදි අයදුම්පත් බාරගෙන නිසි පරීක්ෂණ කටයුතු සිදුකර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දක්නට නොමැති බවට වූ සහතිකයක් නිකුත් කිරීමට ද උපදෙස් ලබා දී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලේඛන රැසක් ජල හානියට පත්ව ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය සදහන් කළේ එහිදී වැඩිම හානියක් සිදුව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයට බවයි.

Shares: