දේශීය

නායයෑම් රතු නිවේදන තවදුරටත් – ගමන් බිමන් ගැන දැනුම් දීමක්

දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33කට මේ වනවිට නිකුත් කර තිබූ නායයෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

පසුගිය දින කිහිපය තුළ බදුල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වර්ෂාවක් ලැබීම හේතුවෙන් මෙම නායයෑම් රතු නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බවයි එම සංවිධානයේ, ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා කියා සිටියේ.

ඊයේ (11) දිනය තුළ මීගහකිවුල, දෙමෝදර යන ප්‍රදේශවල නායයෑම් සිදුවීම් වාර්තා වන බැවින් ඒ පිළිබඳව ජනතාව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බවත් ඒ මහතා අවධාරණය කළා.

එමෙන්ම යම් ආකාරයක අනතුරුදායක තත්ත්වයක් අදාළ භූමියන්ගේ පවතින බැවින් කාලගුණ අනාවැකි සැලකිල්ලට ගෙන අදියර 2 යටතේ අවදානයෙන් සිටින ලෙස දන්වා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමද දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 38කට එලෙසින්ම ක්‍රියාත්මකයි.

මීට අමතරව අදියර 1 යටතේ විමසිලිමත් වෙන ලෙස දන්වා නිකුත් කළ නායයෑම් නිවේදනය දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට තවදුරටත් ක්‍රියාත්මක වන බවයි සේනාධීර මහතා ප්‍රකාශ කළේ.

ලැබෙන වර්ෂාපතනය සමඟ මෙම නිවේදන වෙනස් විය හැකි බැවින් අදාළ ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බව ද ඒ මහතා සඳහන් කළා.

ජීවිත රැසක් මේ වනවිට අහිමි වී ඇති පසුබිමක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය හෝ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිවේදන ගැන නිරන්තරයෙන්ම ජනතාව අවධානය යොමු කළ යුතු බව ද පැවසු ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ නැවත එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීමට ලබාදෙනු ලබන උපදෙස් නිසිලෙස පිළිපඳින ලෙසයි.

තවද පසුගිය නොවැම්බර් මස 20 වන දින සිට අද දක්වා වූ කාලය තුළ අනතුරුදායක ඉල්ලීම් පරීක්ෂා කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වෙත ඉල්ලීම් 2,716ක් ලැබී ඇති අතර, එයින් 589ක් මේ වනවිට නිමකර ඇති බව ද ඒ මහතා පැවසුවා.

එසේම රට තුළ පවතින ආපදා තත්ත්වය තුළ මේ දිනවල සිදුකළ යුතු සුදුසුම දේ වන්නේ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී ආරක්ෂිත ස්ථානයක ජීවත්වීම බවද අවධාරණය කර සිටි වසන්ත සේනාධීර මහතා සති අන්තයේ විනෝද චාරිකා යෑමට ඇති හැකියාව පිළිබඳව විමසා ජනතාවගෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබුණු බවයි මෙහිදී කියා සිටියේ.

තවමත් රට තුළ අවදානම් තත්ත්වයක් පවතින බැවින් මේ මොහොත විනෝද චාරිකා යෑමට අවස්ථාවක් නොවන බවත්, අපි සිටින්නේ අනතුරුදායක තත්ත්වයක බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Shares: