පුරවැසිභාවය, ආචාර ධර්ම සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය සහ ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපනය පිළිබඳ සහකාර අමාත්‍යවරයා වන Julian Hill මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් පවත්වා තිබෙනවා.
එහිදී ඔවුන් අධ්‍යාපන හා සංවර්ධන සහයෝගීතාව පිළිබඳවයි සාකච්ඡා කොට ඇත්තේ.
අධ්‍යාපන ක්ෂේත්‍රය මෙන්ම ද්විපාර්ශ්වික සබඳතා, සංවර්ධන සහයෝගීතාව, ආර්ථික හා වෙළඳ සබඳතා, සංචාරක, ආයෝජන අවස්ථා සහ කලාපීය සහයෝගීතාව කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් පැසසුමට ලක් කළේ අධ්‍යාපනය සඳහා ආධාර ලබා දීම, උසස් අධ්‍යාපනය පුළුල් කිරීම සහ ඕස්ට්‍රේලියානු රජය විසින් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන් ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ එරට රජය විසින් ලබා දී ඇති දිගුකාලීන සහයෝගීතාවයටයි.
එසේම ශ්‍රී ලංකාවේ දිගුකාලීන උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සහාය ලබා දෙන බව ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිස අවධාරණය කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රමුඛතා සහ පුළුල් සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙන යාමේදී විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස සිය සහාය ලබා දීමට කටයුතු කරන බවයි ඔවුහු වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම මෑතක දී මුළු දිවයිනට ම බලපෑ හදිසි ආපදා තත්ත්වයෙන් පසුව, මානුෂීය ආධාර සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් පරිත්‍යාග කරන ලද ඩොලර් මිලියන 3.5 ක මූල්‍යමය දායකත්වය සඳහා අග්‍රාමාත්‍යවරිය සිය කෘතඥතාව පළ කළා.
එහිදී ඇය සඳහන් කළේ දැනට අතුරුදහන් වූවන් සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර ඇති බවත්, නැවත පදිංචි කිරීම, නැවත ස්ථානගත කිරීම සහ නැවත ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරමින් රට යථා තත්ත්වයට පත්වීමේ ඊළඟ අදියර ආරම්භ කර ඇති බවයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew Duckworth, පළමු සහකාර ලේකම් Karen Ann Sandercock, කාර්ය මණ්ඩල ප්‍රධානී Cameron Geoffrey Green, කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් Ruth Baird සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, උසස් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) අප්සරා කල්දේරා යන මහත්ම මහත්මීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.










