මහර බන්ධනාගාරයේ 2020 වසරේ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් මරණයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන වසරේ මාර්තු මස 17 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
අදාළ ගැටුමේදී මිය ගිය සිරකරුවකුවන සම්පත් පුෂ්ප කුමාර නමැත්තාගේ බිරිඳවන මෙහෙනුවර වසන්ති නැමැත්තිය විසින් මෙය ඉදිරිපත් කර තිබුණා.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බව සඳහන් කළා.
ඒ අනුව, කටයුතු කරමින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කරන බවට නීතිපතිවරයා විසින් මීට පෙර අධිකරණයට දැනුම් දී තිබූ බවත් නීතිඥ ලක්ෂාන් ඩයස් සඳහන් කළා.
එහෙත් මෙම පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශානක විජේසිංහ සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළ සැකකරුවන් හඳුනා ගැනීමට අපහසු තත්ත්වයක් තිබෙන හෙයින් මීට අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන නොයාමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් සඳහන් කළේ, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා මීට පෙර දැනුම් දී තිබූ බවත් දැන් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බව පැවසීම පිළිගත නොහැකි බව සඳහන් කළා.
නීතිපතිවරයාට මේ ආකාරයෙන් ස්ථාවර දෙකක් දැරීමට හැකියාවක් නොමැති බවත් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥ ලක්ෂාන් ඩයස් ඉල්ලා සිටියා.
ඒ අනුව, අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 17 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.