චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බවත් සෞඛ්‍ය අංශ පවසනවා.
2023 දෙසැම්බර් සහ ජනවාරි යන මාසවලදී මෙරට තුල ද HMPV වෛරස ආසාදිතයින් හමුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඒ බව පරීක්ෂණවලින් හෙළිව ඇති අතර මෙම වසරේ HMPV වෛරසයට අදාළ පරීක්ෂණ තවමත් සිදු කර නොමැති බවද සඳහන්.
එමෙන්ම සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේ පසුගිය අවුරුද්දේ මහනුවර ප්‍රදේශයෙන් ද මෙම වෛරසය ආසාධිත පුද්ගලයින් හමු වී ඇති බවයි.
”අනවශ්‍ය බියක් සහ තැතිගැන්මක් ඇතිවෙලා තියෙනවා මාධ්‍ය තුළ.. චීනය ඉතාමත් භයානක තත්වයක් තියෙනවා. අලුත් වෛරසයක් ඇවිල්ලා. කොවිඩ් 19 වසංගත තත්වයට නැවත අපිට යන්න ඉඩ තියෙයි කියලා කතාවක් යනවා.. දැන් ඇත්තටම කියන්න තියෙන්නේ මේ කිව්වා වගේ මේ වෛරසය අවුරුදු විස්සක් තිස්සේ ලෝකයේ හැමතැනම තිබිලා තියෙනවා සහ අපේ ටෙස්ට් ටෙස්ටින් වලින් මේක අහුවෙලා තියෙනවා. දැන් ඇත්තටම කියනවා නං මේ වෛරසය ශ්වසන මාර්ග ඒ කියන්නේ ස්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් වැඩිපුරම එන්නේ සීත කාලයේ.. දැන් ලංකාවේ එහෙම කාලයක් නැති වුණාට ලෝකයේ අනිත් රටවල් වල තියෙනවා. මෙම වෛරසය කාලයෙන් කාලයට මතුවෙනවා. ඒ කියන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් දෙසැම්බර්, ජනවාරි, කාලවල් වල තමයි ලෝකේ හැමතැනම මතුවන්නේ.. දැන් අපි මේ වෛරසය ලංකාවේ තියෙනවා කියලා හොයා ගත්තා මං කිව්වා වගේ මහනුවර ඉස්පිරිතාලෙන්.. කවුරුත් මේවා වාර්තා කරන්නෙත් නැත්තේ ඒවා වාර්තා කරන්න තරම් අලුත් දේවල් නොවන හින්දා. එතකොට වැදගත් නොවන දේවල් ඉතින් වාර්තා කරන්න ඕනෙත් නැහැ. ඒක ඉතාමත් සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දේවල් ඇත්තටම වාර්තා කරන්න අනවශ් යයි. ඉතින් දැන් කියන්න තියෙන්නේ ඒකට කිසිම බිය විය යුතු හේතුවක් නැහැ කියලා.”