දේශීය

නත්තල මුදල් හම්බ කිරීමේ උත්සවයක් බවට පත්කරලා – අගරදගුරු හිමිපාණන්

වෙළෙඳ ආර්ථිකය විසින් නත්තල් උත්සවය මුදල් හම්බ කිරීමේ තවත් එක් උත්සවයක් බවට පත්කර ඇති බවත්, එය එසේ නොවන බව සියලුදෙනා පැහැදිලිවම තේරුම්ගත යුතු බවත් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ නත්තල් දේව මෙහෙයට එක්වෙමින්.

නත්තල් උදාව වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ ප්‍රධානත්වයෙන් උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේ දී පැවැත්වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

.

“ක්‍රිස්තු ධර්මය කියන්නේ අතහැරීම. අතහැරීමක් නැතිව ක්‍රිස්තු ධර්මයක් නෑ. ක්‍රිස්තූත් වහන්සේ ජීවත් වුණේ හැමදේම අතහරිමින්. මේ සඳහා තමයි උන්වහන්සේ බිහි වුණේ. ගව ලෙනක් තෝර ගත්තේ, දුප්පත දෙමාපියන් තෝර ගත්තේ, සමාජයේ නැති බැරි අය අතර ජනිත වුණේ. මෙන්ම මේ දේ පෙන්නුම් කරලා දෙන්න ඕනේ. මේ ජීවිතය තුළ අපි ගොඩාක් වෙලාවට මේ ලෞකික ධනය, ලෞකික බලය, ලෞකික සම්පත්වල හිරකරුවන් වෙලා ජීවත් වෙනවා. බුදුන් වහන්සේ උගන්නපු ධර්මයේත් තියෙන්නේ අන්න ඒකයි. තණ්හාව තමයි දුකට හේතුව. අපේ සමාජය පිරිසිදු කිරීමට නම් මේ තණ්හාව නැතිකර යුතුයි.”

“මේ ගංවතුරක් ඇවිල්ලා අපිට මහ විනාසයක් කළා සහෝදරවරුනි. ඇයි, ස්වභාවධර්මය ආත්මාර්තකාමී ලෙස සමයර අය පාවිච්චි කරන නිසා. එසේ පාවිච්චි කරන්නට දේශපාලන තලයේ ඇතැම් අය උදව් දුන්න නිසා. උදව් දෙන නිසා. පරිසර දුෂණය සහ මේ ආත්මාර්තකාමී පැවැත්ම කෑදරකම, මේ ධනය එකතුකර ගැනීමේ කෑදරකම මොකද මේ කිසිම දෙයක් අපිට අරන් යන්න හම්බ වෙන්නේ නෑ. මැරෙන වෙලාවේදී සියල්ලම අතහැරදාලා යන්න වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ දෙන මේ පණිවිඩය අත්හැරීමේ වැදගත්කම , අනුන් ගැන සිතා ජීවත් වීමේ වැදගත්කම මේක තමයි ක්‍රිස්තු ධර්මය.”

“නත්තල කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම වැරදි විදියට මේ වෙළෙඳ ආර්ථිකය නත්තල කියන එක අපි හදලා තියෙන්නේ මුදල් හම්බ කිරීමේ තවත් එක් උත්සවයක් විදියට පමණයි. නත්තල වෙළෙඳ උත්සවයක් නොවන බව අපි පැහැදිලිවම තේරුම්ගත යුතුයි.”

“නත්තලට වැදගත් වන්නේ නත්තල් ගසවත්, ගව ලෙනවත්, නත්තල් සීයාවත් නොවෙයි. වැදගත් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොකක්ද අපිට පෙන්නලා දුන්නේ මොන මාර්ගයේද යන්න කියලා දුන්නේ අන්න ඒ මාර්ගයේ ගමන් කිරීමයි.”

යනුවෙනුයි ප්‍රකාශ කළේ.

Shares: