හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා පත්‍රය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම ජනවාරි මස 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා පත්‍රය ගොනු කර ඇත්තේ අපරීක්ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ බරපතල රිය අනතුරක් සිදු කිරීම යන චෝදනා යටතේ යි.
රණවක මහතා විසින් ගොනුකර තිබෙන මෙම පෙත්සම අද (15) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ දීයි කැඳවනු ලැබුවේ.
එහිදී මෙම පෙත්සම සලකා බැලීම සඳහා ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කෙරුණා.
එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම ජනවාරි මස 22 වනදා කැඳවීමට නියමිතයි.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සිය රියැදුරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගෙන නඩු කටයුතු අවසන් කර තිබූ බවයි පෙත්සම්කාර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ.
එසේ තිබියදී අදාළ චෝදනා සම්බන්ධයෙන් තමන්ට එරෙහිව යළි නඩු පැවරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත්, ඒ අනුව තමාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන අධිචෝදනා බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාඨලී චම්පික රණවක මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.









