උණුසුම් පුවත්

‘ගී රාජිනිය’ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන බදාදා…

අභාවප්‍රාප්ත, “හෙළයේ ගීත කෝකිලාවිය” කලාශූරී ලතා වල්පොළ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ‘පූර්ණ රාජ්‍ය අනුග්‍රහය’ සහිතව 2025.12.31 දින කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී සිදුකිරීමට නියමිත බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

දේහය අද පස්වරු 3.00 සිට රාත්‍රී 10.00 පුද්ගලික මල්ශාලවක තැන්පත් කෙරෙන අතර එළැඹෙන 31 වනදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන යෑමෙන් අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන්.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එතුමිය අභාවප්‍රාප්ත වූයේ ඊයේ පස්වරුවේයි.

මියයන විට ලතා වල්පොල මහත්මිය 91 වන වියේ පසුවුණා.

වර්ෂ 1934 දී උපත ලැබු රීටා ජෙනවිට් ප්‍රනාන්දු පසුකාලීනව ලතා වල්පොළ යන නමිනුයි ජනාදරයට පාත්‍ර වූයේ.

ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරනු ලබන්නේ වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසයි.

ඇය මේ වනවිට ගීත හයදහසකට අධික සංඛ්‍යාවක් ගායනා කර ඇති අතර ඒ අතර විදෙස් භාෂා ගීත ද ඇතුළත්.

එමෙන්ම සිනමාවේ සදාකාලික ‘ගී රාජිනිය’ ලෙසද විරුදාවලි ලබා ඇත්තේ ලතා වල්පොල මහත්මියයි.

1953 වසරේ දී ‘එදා රෑ’ චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායනයට පිවිසි ඇය හෙළ සිනමාවේ යුග ගණනාවක් සිය මධුර හඬින් වර්ණවත් කරමින් ගුවන් විදුලිය, වේදිකාව, පුංචි තිරය මෙන්ම සරල ගීතය, සිය මනෝහර නාදයෙන් රසවත් කළා.

සරසවි සම්මාන 5ක්, ජනාධිපති සම්මාන 2ක්, කලාශුරි සම්මානය ඇතුළු සම්මාන රැසකින් ලතා වල්පොල මහත්මිය පිදුම් ලැබුවේ ඇය සතු වූ ගායන කෞශල්‍යය හේතුවෙන්.

Shares: