මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව මීටියාගොඩ පොලිස් ස්ථානය විසින් පසුගිය 24 වැනි දින අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන කටයුතු සිදුකරන සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනීමට මීටියාගොඩ පොලීසිය සමත්ව තිබෙනවා.
සැකකරු රැඳවුම් නියෝග මත රඳවා සිදුකරන ලද විමර්ශනයේදී දැනට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකු සමග සබඳතා පවත්න බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඝාතනයන් කිහිපයක වෙඩික්කරු ලෙස ක්‍රියා කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව 2024.03.11 අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට තුවාල සිදු කිරීම.
2025.05.03 වන දින මීටියාගොඩ පොලිස් වසමේ ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම.
2025.11.28 දින මීටියාගොඩ පොලිස් වසමේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයට තැත් කිරීම ආදි සිදුවීම්වලට සැකකරු සම්බන්ධ බවට තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.
එමෙන්ම පොලිසිය පැවසුවේ පසුගිය වසරේ පෙබරවාරි මස 11 වැනි දින අම්බලන්ගොඩ පොලිස් වසමේ සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දුන් අවුරුදු 28ක පුද්ගලයෙකුද ඊයේ (27) දිනයේදී අත්අඩංගුවට ගත් බවයි.
වැඩිදුරටත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ගිනිඅවිය සම්බන්ධව තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ අනුව රත්ගම ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ අවියක් ඊයේ දිනයේදී පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය විසිනුයි වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන්නේ.











