නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් අද (06) පැවැත්වෙනවා.
ඒ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ.
අද පෙ.ව 9.30 සිට පෙ.ව.10 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
පෙ.ව. 10.00 සිට 11දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27 යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇතැයි සඳහන්.
අනතුරුව ප.ව. 3.30 දක්වා ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්රතිලාභ පනත යටතේ පළකළ අතිවිශේෂ ගැසට් පත්‍රවල නියෝග විවාදයට ගැනීමට නියමිතයි.
ඊට අමතරව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පසුගිය දෙසැම්බර් 28 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලද ප්රකාශනයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ස්ථාපිත කිරීමට අදාළ යෝජනා සම්මතය ද අද දිනයේ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ.
මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව ලබන 9 වන දින දක්වා රැස්වීමට නියමිතව ඇති අතර එහිදී අණ පනත් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ද නියමිතයි.











