දෙවුන්දරට දකුණු මුහුදු ප්‍රදේශයේදී සැක සහිත මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායට රැගෙන විත් තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙරළාරක්ෂක බලඇණිය විසින් ඊයේ (15) දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම යාත්‍රාව නාවික භාරයට ගත් බව වාර්තා වනවා. යාත්‍රාව තුළ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන ගෝනි කිහිපයක් ද හමු වී ඇති බව සඳහන් වනවා. මෙම බහුදින ධීවර යාත්‍රාව මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 123කට ආසන්න දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිට තිබෙන බව පසුව සොයා ගැනුණා.
අත්අඩංගුවට ගත් යාත්‍රාවේ සිටි ධීවරයින් පස්දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය හෙරොයින් බව තහවුරු වී ඇති බවයි.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් බිලියන 3කට ආසන්න බවත්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ විය හැකි බවට සැක පළ වන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවත් වාර්තා වනවා.











