2022 ජූලි මාසයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටවීමට භාවිතා කළ බව කියන SLNS ගජබාහු නෞකාව සම්බන්ධයෙන් වැදගත් නීතිමය විමර්ශනයක්
අභියාචනාධිකරණය මාර්තු 19 දින ලබාදුන් තීන්දුවක් මඟින්, එම ගමනට අදාළ වියදම් සහ ගෙවීම් සම්බන්ධ තොරතුරු හෙළිදරව් කළ යුතු බවට තොරතුරු දැනගැනීමේ කොමිසම විසින් මීට පෙර දුන් නියෝගය තහවුරු කර තිබෙනවා.
මෙම නඩුවේ මුලාරම්භය වූයේ, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත යොමු කරන ලද තොරතුරු ඉල්ලීමක් හරහාය. එහිදී නෞකාවේ ගමන් විස්තර, සමග ගිය පුද්ගලයින් සහ වියදම් සම්බන්ධ කරුණු ඇතුළු තොරතුරු අටක් ඉල්ලා තිබුණි.
මුලදී, ජාතික ආරක්ෂාවට හානි විය හැකි බව පෙන්වා දෙමින් නාවික හමුදාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළද, පසුව කොමිසම විසින් වියදම් සහ ගෙවීම් මූලාශ්‍රය වැනි මූල්‍ය තොරතුරු නිකුත් කළ යුතු බවට තීරණය කර තිබෙනවා.
නාවික හමුදාව එම තීන්දුව අභියෝගයට ලක් කළද, අභියාචනාධිකරණය එය ප්‍රතික්ෂේප කරමින්, එවැනි මූල්‍ය තොරතුරු “සාමාන්‍ය තොරතුරු” ලෙස සලකා හෙළිදරව් කළ යුතු බවට පැහැදිලි කර තිබෙනවා.
මෙම තීන්දුව, රාජ්‍ය පාලනයේ පැහැදිලිභාවය සහ මහජන අයිතිවාසිකම් අතර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, තොරතුරු ප්‍රවේශය පිළිබඳ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි.











