අද (23) උදෑසන දිවයිනේ ප්‍රධාන බස් පර්යන්ත රැසක දැඩි පෝලිම් සහ කලබකාරිබවක් වාර්තා වූයේ, පෞද්ගලික බස් සංගම් කිහිපයක් විසින් ධාවනයෙන් ඉවත් වීමත් සමඟය. මගීන් බොහෝ දෙනෙක් අතරමං වී, කාර්යබහුල වේලාවන්හිදී විකල්ප ප්‍රවාහන සෙවීමට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදු වූවා.
මෙම තත්ත්වය උද්ගත වන්නේ, මාර්තු 21 වන දින සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයත් සමඟය. විශේෂයෙන් ලංකා ඔටෝ ඩීසල් මිල වැඩිවීම හේතුවෙන් මෙහෙයුම් පිරිවැය ඉහළ යාමත් සමඟ, බස් සංගම් පෙන්වා දෙන්නේ පවතින ගාස්තු යටතේ සේවා පවත්වාගෙන යාම දැඩි ලෙස අසීරු වී ඇති බවයි.
ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව අනුව, මෑත ඉන්ධන මිල වැඩිවීම පවතින බස් ගාස්තු සූත්‍රයට 10% කට වඩා බලපා ඇති බව තහවුරු කර තිබෙනවා. එමඟින්, ගාස්තු සංශෝධනයක් අත්‍යවශ්‍ය බවට පෙන්වා දි තිබෙනවා.
බස් සංගම් පවසන්නේ, බලධාරීන්ට පෙර දැනුම් දී තිබූවත්, යෝග්‍ය ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් සේවා අත්හිටුවීමට සිදු වූ බවයි. ඔවුන් අවධාරණය කරන්නේ, නව ගාස්තු ව්‍යුහයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන තුරු ධාවනයට නොපැමිණෙන බවයි.
අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේ බස් ගාස්තු සියයට 12.19 කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අනුව, මෙම තීරණය ගනු ලැබූයේ මෑතකදී සිදු වූ ඉන්ධන මිල සංශෝධනයේ බලපෑම මතයි.
නව සංශෝධනය යටතේ,
අවම බස් ගාස්තුව රු. 27 සිට රු. 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
උපරිම ගාස්තුව රු. 2,159 සිට රු. 2,422 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන්ධන මිල වැඩිවීමේ බලපෑම
ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) පෙන්වා දී ඇති පරිදි, විශේෂයෙන් ඔටෝ ඩීසල් මිල වැඩිවීම බස් ගාස්තු සංශෝධනයේ ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. එය ගාස්තු සූත්‍රයට සෘජුවම බලපාමින් 10% ඉක්මවන වැඩිවීමකට මඟ පෑදූ බවයි.
බස් සංගම් අනතුරු ඇඟවීම්
බස් සංගම් පසුගිය දිනවල සිටම ගාස්තු වැඩි කිරීම ඉල්ලා සිටි අතර, එය ප්‍රමාද වීම හේතුවෙන් බස් ධාවනය නවතා දැමීමට ද සූදානම් වී තිබෙනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය (LPBOA) පෙන්වා දුන්නේ, ගාස්තු සංශෝධනය නොමැතිව මෙහෙයුම් පවත්වාගෙන යාම අසීරු බවයි.
ත්‍රිරෝද ගාස්තුත් ඉහළට
බස් ගාස්තු සමඟම ත්‍රිරෝද ගාස්තුද ඉහළ දමා තිබෙනවා.
පළමු කිලෝමීටරය – රු. 100 සිට 110 දක්වා
අමතර කිලෝමීටරයකට – රු. 90
නව ඉන්ධන මිල (සංශෝධිත)
* ඔටෝ ඩීසල් – රු. 382
* සුපිරි ඩීසල් – රු. 443
* ඔක්ටේන් 92 පෙට්‍රල් – රු. 398
* ඔක්ටේන් 95 පෙට්‍රල් – රු. 455











