2026 වසර තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සියයට 1.6 කින් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව (CBSL) විසින් තහවුරු කර තිබෙනවා. ඊයේ (31) වෙළඳාම අවසානයේ ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 311.76 ක් ලෙසත්, විකුණුම් අනුපාතය රු. 319.31 ක් ලෙසත් සටහන් වී තිබුණා.
මහ බැංකුව පෙන්වා දෙන්නේ 2026 පෙබරවාරි මැදින් ආරම්භ වූ මැද පෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් රුපියලේ අවප්රමාණය වී ඇති බව පෙන්වා දී තිබෙනවා.
එසේ වුවද, 2026 පෙබරවාරි මාසයේදී බාහිර ජංගම ගිණුම අතිරික්තයක් වාර්තා කර ඇති අතර, 2026 ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ ඩොලර් මිලියන 487 ක සමුච්චිත අතිරික්තයක් සටහන් වීම ආර්ථිකයට යම් ආධාරයක් ලෙස සැලකිය හැකියි.
කෙසේ වෙතත්, වෙළඳ හිඟය 2025 වර්ශයට සාපේක්ෂව ඩොලර් බිලියන 1.1 සිට 1.4 දක්වා පුළුල් වී ඇති අතර, වාහන ආනයන වියදම ඉහළ යාමද එයට ප්රධාන හේතුවක් වී තිබෙනවා. 2026 පෙබරවාරි මාසයේදී පමණක් වාහන ආනයනය වියදම ඩොලර් මිලියන 194ක් ලෙස වාර්තා වී තිබෙනවා.
ඉතා වැදගත් කරුණක් ලෙස, චීන මහජන බැංකුව සමඟ ඇති හුවමාරු පහසුකම ඇතුළුව ශ්රී ලංකාවේ දළ නිල සංචිත (GOR) 2026 පෙබරවාරි අවසානය වන විට ඩොලර් බිලියන 7.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදේශ විනිමය මිලදී ගැනීම් වැඩිවීම මෙයට ප්රධාන වශයෙන් හේතු වූ බව මහ බැංකුව පෙන්වා දෙනවා.











