බංග්ලාදේශයේ අත්අඩංගුවේ මාස හයකට අධික කාලයක් රඳවා සිටි ශ්‍රී ලාංකික ධීවරයින් හය දෙනෙකු අවසානයේ නිදහස් කර ඇති බව වාර්තා වනවා. මෙම පිරිස හෙට (අප්‍රේල් 2) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ධීවර අමාත්‍යාංශය සඳහන් කර තිබුණා.
‘සුදු දුව 4’ නමැති බහුදින ධීවර යාත්‍රාවෙන් 2025 ජූලි 16 දින යාත්‍රා කළ මෙම කණ්ඩායම, සමුද්‍ර සීමාවන් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් බංග්ලාදේශ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. එමෙන්ම නීතිමය කටයුතු සිදු කරන අතරතුර ඔවුන් චිතගොං මධ්‍යම බන්ධනාගාරය තුළ රඳවා තබා තිබුණා.
මෙම නිදහස් කිරීම සාර්ථක කර ගැනීමට ධීවර අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එක්ව සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් මූලික වූ බව වාර්තා වනවා.
දිගු කාලයක් පවුල්වලින් වෙන්ව සිටි මෙම ධීවරයින්ගේ ආපසු පැමිණීම, ඔවුන්ගේ ආදරණීයයන්ට සැනසීමක් ගෙන දෙන සුබ පුවතක් වී තිබෙනවා.











