දේශීය

“එකම මෙහෙවරක් – නව නිවහනක්” – 1990 සුවසැරිය නව පියවරක් ඉදිරියට

ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවිත රැක ගැනීමේ විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන 1990 සුවසැරිය පදනම අද තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබෙනවා.

“එකම මෙහෙවරක් – නව නිවහනක්” යන තේමාව යටතේ, සුවසැරිය සේවාවේ සියලුම මෙහෙයුම් එකම ස්ථානයකට එක් කරමින් නව නිවහනක් නිල වශයෙන් විවෘත කර තිබෙනවා. මෙම නව මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ Horton Place හි අංක 43 ස්ථානයේය.

හම්බන්තොටින් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ සුවසැරිය, අද වන විට දිස්ත්‍රික්ක 24ම ආවරණය කරමින් පැය 24 පුරා, දින 365ක් ජනතාවට සේවය සපයන ජාතික ජීවිතාරක්ෂක ජාලයක් බවට පත්ව තිබෙනවා.

රාජගිරියේ පුද්ගලික ගොඩනැගිල්ලක ආරම්භ වූ මෙම සේවාව, මේ වන විට මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේ ඇති පර්චස් 65ක භූමියක විහිදුනු නවීකරණය කළ ගොඩනැගිල්ලක් තුළ සියලුම මෙහෙයුම් එකම ස්ථානයකින් සිදු කිරීමට හැකිවීම සුවසැරිය ඉතිහාසයේ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකයි.

මෙම සේවාව සතු ගිලන් රථ 322ක් දිවයින පුරා පොලිස් ස්ථාන 272ක ස්ථාපිත කර ඇති අතර, මේ වනවිට ඇමතුම් මිලියන 2.5කට අධික සංඛ්‍යාවක් සාර්ථකව හසුරුවා තිබෙනවා.

මෙම උත්සවයට

* සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස
* සුවසැරිය නිර්මාතෘ හර්ෂ ද සිල්වා
* ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සම්පත් තුයකොන්තා
* සෞඛ්‍ය ලේකම් අනිල් ජයසිංහ
* නාවික හමුදාපති කාංචන බනගොඩ
* පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය
* මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය

ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් එක්වී තිබුණා.

විශේෂයෙන්ම, ගරාවැටුණු ගොඩනැගිල්ලක් ලෙස පැවති මෙම ස්ථානය නවීකරණය කර නැවත පිළිසකර කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි.

2016 වසරේදී ආරම්භ වූ සුවසැරිය සේවාව, ඉන්දියානු රජයේ ඇමරිකානු ඩොලර් මිලියන 22ක පරිත්‍යාගයක් මත ආරම්භ වූ අතර, අද වන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය හා විශ්වාසදායක සේවාවක් බවට පත්වී තිබෙනවා.

මෙය “එකම මෙහෙවරක් – නව නිවහනක්” යන සංකල්පය සාර්ථක කරමින්, ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් තවත් ශක්තිමත් පියවරක් බවට පත්ව තිබෙනවා.

Shares: