පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාරවලින් අය කරනු ලබන ඇතැම් වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා ඇති උපරිම මිල සීමා ඉක්මවා කටයුතු කළ පෞද්ගලික රෝහලකට රුපියල් මිලියන 3ක (ලක්ෂ 30ක) දඩයක් නියම කර තිබේ.
Full Blood Count (FBC) රුධිර පරීක්ෂාවක් සඳහා පෞද්ගලික අංශයෙන් අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 400ක් ලෙස නියම කර ඇත. කෙසේ වෙතත්, යාපනය, පලාලි පාර, කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක් විසින් එම පරීක්ෂාව සඳහා රුපියල් 550ක බැගින් අය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සිදුකළ විශේෂ වැටලීමකදී අනාවරණය කරගෙන ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි. එහිදී විත්තිකාර ආයතනය අදාළ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව, අධිකරණය විසින් එම ආයතනයට රුපියල් ලක්ෂ 30ක (රුපියල් මිලියන 03ක) දඩයක් නියම කර ඇත. තවද, සිදුකරන ලද වරද සම්බන්ධයෙන් විත්තිකාර ආයතනයේම වියදමින් ප්‍රධාන පුවත්පත්වල දැන්වීමක් පළ කරන ලෙස ද අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.
පෞද්ගලික රෝහලකින් හෝ වෛද්‍ය රසායනාගාරයකින් සේවාවක් ලබාගැනීමේදී නියමිත උපරිම ගාස්තු පිළිබඳ විමසිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි. ගෙවන සෑම මුදලක් සඳහාම නිවැරදි බිල්පතක් ලබාගැනීම පාරිභෝගික අයිතියක් වන අතර, නියමිත උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කරන අවස්ථාවලදී කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කළ හැකිය.
YouTube: https://www.youtube.com/@lankahitnews
Facebook: https://www.facebook.com/officiallankahitnews
TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial
Twitter/X: https://x.com/HitNewsLanka
Website: https://www.lankahitnews.com
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: 072 746 4185
Email: [email protected]











