ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වූ සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 5 දෙනාගේ ජංගම දුරකථන දත්ත ඔස්සේ ඔවුන් සමග සබඳතා පැවැත්වූ වෙනත් පුද්ගලයින් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එහිදී දේශපාලනඥයින් ඇතුලු පාර්ශ්ව රැසක් පිළිබඳව අවධානය යොමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවේ සිටින කෙහෙල්බද්දර පද්මේ අනාවරණය කර ඇත්තේ තමන්ට ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීවගෙන් එල්ලවී තිබූ ජීවිත තර්ජන හේතුවෙන් ආදිත්‍ය නමැති අනුවර්ත නාමයකින් විදෙස් ගතවූ බවයි.
එමෙන්ම විදෙස්ගතව සිට සිදුකළ තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් ද ඔහු තොරතුරු අනාවරණය කර ඇති බව සඳහන්.
සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත හෙවත් පිට්ටුවා, පානදුරේ නිලංග, තැඹිලි ලහිරු සහ බැකෝ සමන් යන අය පසුගිය 27 වැනිදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදීයි අත්අඩංගුවට ගනු ලැබුවේ.
ඉන්පසුව එම සැකකරුවන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරට රැගෙන ඒමට විමර්ශන නිලධාරින් කටයුතු කළා.
ඒ අනුව කෙහෙල්බද්දර පද්මේ නමැත්තා රහස් පොලිසියේ වාණිජ විමර්ශන අංක 3 හිද, කමාන්ඩෝ සලින්ත නමැත්තා වාණිජ විමර්ශන අංක 1 හිද , පානදුරේ නිලංග විශේෂ අපරාධ විමර්ශන අංශ 1 හිද රඳවාගෙන ප්‍රශ්න කිරීම් කෙරෙන අතර බැකෝ සමන්ත සහ තැඹිලි ලහිරු කොළඹ වරාය පොලිස් ස්ථානයේ රඳවගෙනයි ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන්නේ.











