ඉකුත් රජය සමයේ එප්පාවල පොස්පේට් නිධියෙන් ලබා ගන්නා පොස්පේට් තොග සම්මත මිල ගණන්වලට වඩා අඩු මිල ගණන්වලට තමන්ට හිතවත් සමාගම් කිහිපයකට අපනයනය කිරීම සඳහා නිකුත් කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වග උත්තරකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) අවසර ලබා දුන්නා.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පරිසරය යුක්ති කේන්ද්‍රය විසින්.
එහි වග උත්තරකරුවන් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු තිස් දෙදෙනෙකු නම් කර තිබුණා.
මෙම පෙත්සම අද ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි සලකා බැලුවේ.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2000 වසරේ දී තිබෙන නියෝගයකට පටහැනි ලෙස ලංකා පොස්පේට් සමාගම විසින් පොස්පේට් තොග ලබාගැනීම සිදුකරන බවයි.
එමෙන්ම ලෝක වෙළඳ පොලේ පොස්පේට් මෙට්‍රික් ටොන් එකක් සඳහා නියමිත මිලට වඩා ඉතාම අඩු මිලකට පොස්පේට් තොග තමන්ට හිතවත් සමාගම් කිහිපයකට අපනයනය කිරීම සඳහා ලබාදීමට වග උත්තරකරුවන් කටයුතු කළ බවත් ඔහු චෝදනා කළා.
මේ තුළින් රජයටත්, මහජනතාවටත් විශාල ආර්ථිකමය පාඩුවක් සිදුවී ඇති බවටයි දාබරේ මහතා චෝදනා කර ඇත්තේ.
මෙම ක්‍රියාවලියේදී විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ චාමර සම්පත් දසනායක මහතා පොස්පේට් නිකුත් කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කරන ලෙස භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු රාජ්‍ය ආයතනවලට බලපෑම් සිදු කර තිබෙන බවට තොරතුරු හෙළිවී ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම මාර්තු මසට 09 වනදා විභාගයට ගැනීමටයි දින නියම කළේ.











