ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් දියත් කර අදට වසර දෙකක් ගත වී තිබෙනවා.
2023 ඔක්තෝබර් 07 වන දින හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයින් 1139ක් ඝාතනය කිරීමත් සමගයි දෙපාර්ශ්වය අතර ගැටුම ආරම්භ වූයේ.
තවත් ඊශ්‍රායල ජාතිකයින් 240 දෙනෙකු එම සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගනු ලැබුවා.
එම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරිම ආරම්භ කළ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට මියගොස් ඇති පලස්තීනුවන් සංඛ්‍යාව 67,000කට අධික බවයි.
තුවාල ලැබූ සංඛ්‍යාවද එක් ලක්ෂ 69,000 ඉක්මවා තිබෙන බවද එම වාර්තාවල සඳහන්.
එමෙන්ම මියගිය අය අතර අවම වශයෙන් ළමුන් 20,000 ක් හෝ පසුගිය මාස 24 තුළ සෑම පැයකටම එක් දරුවෙකු මිය ගොස් තිබෙනවා.
යුනිසෙෆ් ඇස්තමේන්තු කර ඇත්තේ ගාසා තීරයේ ළමුන් 3,000 ත් 4,000 ත් අතර සංඛ්‍යාවකට එක් අතක් හෝ කිහිපයක් අහිමි වී ඇති බවයි.
ගැටුම් ආරම්භ වී වසර දෙකක් ගත වුවද තවමත් ගාසා තීරයේ ප්‍රහාර සිදුවන අතර ඇමරිකාව,මැදපෙරදිග රටවල් මෙන්ම තවත් රටවල් විශාල සංඛ්‍යාවක් ගැටුම් අවසන් කිරීමට විවිධ උත්සහයන් ගනිමිනුයි සිටින්නේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද කරුණු 20කින් යුත් සාම සැලැස්මක් මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.
ඊශ්‍රායලය ඊට එකඟ වී ඇති නමුත් හමාස් සංවිධානය තවමත් සිටින්නේ සාකච්ඡා මට්ටමකයි.
ඒ සම්බන්ධ සාකච්ඡා වටයක් ඊයේ ඊජිප්තුවේ කයිරෝ නුවරදී පැවැත්වු අතර ඒ සඳහා හමාස් සංවිධානයේ මෙන්ම ඊශ්‍රායල, ඇමරිකානු සහ කටාර් නියෝජිතයින් සම්බන්ධ වූ බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.
එම සාකච්ඡා සාර්ථක බව ද එම වාර්තාවල සඳහන්.











