දේශීය

වන්නිනායක අද බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට

නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද පෙරවරුවේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ දී පසුගියදා ඇති වූ සිද්ධියට සම්බන්ධව සිටි වන්නිනායක මහතා ඊයේ එම අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඇප මත මුදාහැරුණා.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මොහුව මුදා හැරුණු අතර සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසයි නියෝග කෙරුණේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් සහ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අතර බහින්බස්වීමක් සිදුව තිබුණේ පසුගිය 10 වැනිදායි.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ගල්කිස්ස මූලස්ථාන පොලිසිය, වන්නිනායක මහතාට කැඳවීමක් කර තිබූ නමුත් ඔහු පොලිසියට පැමිණියේ නැහැ.

ඒ අනුව පොලිස් කණ්ඩායම් තුනක් ඔහුව සෙවීමට යොදවා තිබුණා.

මේ අතර වන්නිනායක මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළ අතර ඒ තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා කියා සිටියේ සිය සේවාදායකයා හැකි ඉක්මනින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමට සූදානම් බවයි.

ඒ අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් වනතුරු අත්අඩංගුවට ගැනීම වළක්වාලන කෙටි නියෝගයක් නිකුත් කිරීම යෝග්‍ය බවයි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙන්වා දුන්නේ.

මේ අතරතුර, පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරමින් සිටි එම නීතීඥවරයා ඊයේ ගල්කිස්ස අධිකරණ භූමියට නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජිව් අමරසූරිය මහතා සමග පැමිණ තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මොහුට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත අද පෙරවරුවේ පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසටයි.

ඉන් අනතුරුව නඩුව නොවැම්බර් 17 වැනිදා දක්වා කල් තැබුණා.

 

Shares: