අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ධූරයට පත්වීමෙන් පසු සිය පළමු ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් අද අලුයම (16) ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූවා.
එහිදී අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිනි කොලොන්නේ මහත්මිය, ඉන්දීය ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසිනුයි පිළිගනු ලැබුවේ.
මෙම සංචාරය අතරතුර, දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අරමුණු කරගනිමින් අගමැතිවරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ තවත් ජ්‍යේෂ්ඨ ඉන්දීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු සමගින් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත වනවා.
එමෙන්ම ඇය 2025 NDTV ගෝලීය සමුළුව සඳහා ද සහභාගී වීමට නියමිත අතර එහිදී එම සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ඇති.
මෙම සමුළුව හරහා ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ චින්තන නායකයින් එක තැනකට එක් වී ජාත්‍යන්තර අභියෝග සහ නැගී එන අවස්ථා පිළිබඳවයි සාකච්ඡා කරනු ලබන්නේ.
එසේම අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස, අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපනය, නවෝත්පාදනය සහ තාක්‍ෂණය පිළිබඳ සහයෝගීතාව සඳහා අවස්ථා පුළුල් කර ගැනීම අරමුණු කර ගනිමින් දිල්ලියේ පිහිටි ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) සහ NITI Aayog සංවර්ධන සහ පර්යේෂණ ආයතනය නැරඹීමට ද එක් වීමට ද සැලසුම් කර තිබෙනවා.
දිල්ලි හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අග්‍රාමාත්‍යවරිය, මෙම සංචාරය අතරතුර ඇය ඉගෙනුම ලැබූ එම විද්‍යාලය, දිල්ලිය නැරඹීමට ද එක් වනු ඇති.
තවද ඇය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වාණිජ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවධානය යොමු කරමින් ව්‍යාපාරික වැඩසටහනකට සහභාගී වීමට අපේක්ෂා කෙරෙනවා.
මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වයේ වැදගත්කම අවධාරණය කරන අතර දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ සමෘද්ධිය උදෙසා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරටේ කැපවීම තහවුරු කරයි.











