දේශීය

මීටියාගොඩ වෙඩි තැබීමට පැමිණි බවට සැක යතුරුපැදිය සොයා ගැනේ

මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුකළ වෙඩිතැබීම සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය බද්දේගම පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

බටපොල – බද්දේගම මාර්ගයේ අම්පෙගම අම්බලම අසල දමාගොස් තිබු එම යතුරුපැදිය බද්දේගම පොලීසියට ලද තොරතුරකට අනුවයි සොයාගෙන ඇත්තේ.

පොලීසිය සැක කරන්නේ වෙඩික්කරුවන් මීටියාගොඩ අලුත්වල හරහා බද්දේගම දෙසට ගමන් කරන අතරතුර යතුරුපැදිය මඟ දමා යන්නට ඇති බවටයි.

මේ අතර, මෙම වෙඩිතැබීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ මීටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.

මීටියාගොඩ, කිරලගහවෙල ප්‍රදේශයේ අවන්හලක ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගියා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මත්පැන් අලෙවි සැලක මුදල් අයකැමි ලෙස කටයුතු කළ කාන්තාවටයි මෙලෙස වෙඩි තබා තිබුණේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.

මියගොස් ඇත්තේ 48 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

ඝාතනයට ලක්වූ කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ව සිට ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදාගෙන ඇති බවට පොලීසිය සැක පළකරන අතර සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

Shares: