අසෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පිළිගත් බව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, පාර්ලිමේන්තුව ලබන 17 වන අගහරුවාදා යළි රැස්වන අවස්ථාවේදී පළමු කාර්යය ලෙස නව කථානායකවරයෙකු පත් කරගැනීමට නියමිතයි.
මෙරට 10 වැනි පාර්ලිමේන්තුවේ 12 වැනි කථානායකවරයා ලෙස තෝරා පත්කරගනු ලැබූ අසෝක සපුමල් රංවල ඊයේ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා.
ඒ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් .
ඔහු සදහන් කර තිබුණේ සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සමාජය තුළ ගැටලුවක් මතුව තිබුණත් තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කිසිඳු සාවද්‍ය ප්‍රකාශයක් කථානායකවරයා ලෙස තමා කර නොමැති බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේ කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති යන පදවිවලින් කවර හෝ පදවියක් දරන අයෙකු ඉල්ලා අස්වීමට අදහස් කරන්නේ නම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64/2 ව්‍යස්ථාව අනුව සිය අත්සනින් යුතු ලිපියකින් ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දිය යුතුයි.
ඒ අනුව කථානායකවරයා සිය අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර තිබුණා.
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කථානායකවරුන්ගේ ඉල්ලා අස්වීමේ අවස්ථා දෙකක් වාර්තා වන අතර, පළමු ඉල්ලා අස්වීම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පත්වූ පළමු පාර්ලිමේන්තුවේ පළමු කථානායකවරයා වන ආනන්ද තිස්ස ද අල්විස්ගේ ඉල්ලා අස්වීමයි.
වසරක පමණ කාලයක් කථානායක ධුරයේ කටයුතු කළ ආනන්ද තිස්ස ද අල්විස් අමාත්‍ය ධුරයක් ලබා ගැනීම වෙනුවෙන් ඉල්ලා අස්වුණා.
ඔහු වෙනුවට අබ්දුල් බාකීර් මාකර් මන්ත්‍රීවරයා කථානායකවරයා ලෙස තේරී පත් වූ අතර, ඔහුද 1983 වසරේදී අමාත්‍ය ධුරයක් ලබා ගැනීම වෙනුවෙන් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වුණා.
අසෝක රංවල කථානායක ධුරයේ දිවුරුම් දුන්නේ පසුගිය නොවැම්බර් 21 වැනිදා වන අතර, ඊයේ ඔහු ඉල්ලා අස්වීමට තීරණය කරන විට ඔහු එම ධුරයේ කටයුතු කර තිබුණේ දින 22ක් පමණයි.
ඒ අනුව මෙරට දේශපාලන ඉතිහාසයේ කෙටිම කාලයක් කථානායක ධුරයේ කටයුතු කර ඇත්තේ ඔහුයි.
එසේම කෙටිම කාලයකින් ඉල්ලා අස්වූ කථානායකවරයා ලෙසද අසෝක රංවල ඉතිහාස ගතවනු ඇති.
අනිද්දා පැවැත්වීමට නියමිත ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී නව කථානායකවරයා සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
නව කථානායක තනතුර සඳහා මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළා.
ඒ අනුව නියෝජ්‍ය කථානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, මෙන්ම නිහාල් ගලප්පත්ති හා ලක්ෂ්මන් නිපුණාරච්චි යන මන්ත්‍රීවරුන්ගෙන් අයෙකු නව කථානායකවරයා ලෙස පත් කෙරෙනු ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙම සිදුවීමට අදාළව සිය එක්ස් ගිණුම තුළ සටහනක් තබා තිබුණා.
එහි දැක්වුණේ හිටපු කථානායක අසෝක රංවල විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි පැවසෙන ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ඇතිවූ සමාජ විරෝධය හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය බවයි.
කෙසේ වුවත් ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ද තමන් සමාජගත කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වන්නේ නම් වහාම ඉල්ලා අස්විය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සුපිරිසිදු පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාමේ දර්ශනයට විරුද්ධව එම පක්ෂයේම ඇතැම් මන්ත්‍රීවරුන් තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ජනතාව නොමග යවා තිබීම අතිශය කනගාටුදායක බවද එහි සඳහන්.