තානාපති කාර්යාලවල සිටින සියලු කාර්ය මණ්ඩල වෙනස් කර ජනතාවට සේවය කළ හැකි පිරිසක් අනුයුක්ත කළ යුතු බව ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොළ විපස්සී නායක හිමියන් ප්‍රකාශ කළා.
ජපානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ, ඇතැම් තානාපති කාර්යාලවල සේවය කරන නිලධාරීන් හේතුවෙන් ජනතාව වඩාත් පීඩාවට පත් වන බවයි.
මේ අතර, ඕමානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම්වරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය සදහා මැදිහත්වන්නැයි ඉල්ලා ඕමානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ට ලිපියක් යොමු කර තිබෙනවා.
අදාළ ලේකම්වරියගේ දුරාචාර සහ නීති විරෝධී හැසිරීම හේතුවෙන් විදේශිකයන් ඉදිරියේ ශ්‍රී ලංකා ප්‍රජාව හෑල්ලුවට ලක්ව ඇති බවයි එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම, ඇය සිය පෞද්ගලික අවශ්‍යතා සදහා රාජතාන්ත්‍රික තනතුර අවභාවිත කරමින් සිටින බවටද ඔවුන් සිය ලිපියෙන් සදහන් කර තිබෙනවා.
මේ අතර, සියලු රාජතාන්ත්‍රික දූත මණ්ඩල වෙත මුදල් රැස් කිරීමේ කටයුතු තහනම් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති පසුබිමක එම නියෝගය නොතකා අදාළ ලේකම්වරිය විසින් අරමුදල් රැස් කිරීමේ ප්‍රයත්නවලද නිරත වන බව සදහන්.
එසේම, වෘත්තීය රාජකාරි පැහැර හරිමින් ඕමානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට හිරිහැර සහ බියගැන්වීම් සිදු කරන බවද ඕමානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව විදේශ අමාත්‍යවරයාට යොමු කළ ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම, ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා සම්බන්ධයෙන්ද මෙම ලේකම්වරිය අනිසි බලපෑම් සිදු කරන බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
මේ අතර, පසුගිය දා පැවති ආසියානු කනිෂ්ඨ කාන්තා හොකී තරගාවලියට ඕමානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එරටදී යම් ගැටලුකාරී තත්වයකට මුහුණ පෑමට සිදු වී තිබුණේද ඕමානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ නිසි මැදිහත් වීමක් සිදු නොවීම හේතුවෙනුයි.
ක්‍රීඩිකාවන් 18ක් ඇතුළුව 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණ තිබූ අතර, එහිදී ක්‍රීඩිකාවකට පන්දුවක් වැදීමෙන් රෝහල් ගත කිරීමට සිදුව තිබුණා.
ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාලයේ කිසිවෙකුත් අවදානය යොමු කර නොතිබූ අතර, ඇයට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ද නිසි පරිදි ලැබී තිබුණේ නැහැ.
එම ක්‍රීඩිකාවට සිදුකළ වෛද්‍ය ප්‍රතිකාර සදහා අවශ්‍ය වූ වියදම් දරා තිබුණේ ඕමානයේ ශ්‍රී ලාංකික ප්‍රජාව විසින්.
මේ අතර, ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට රියදුරු රැකියා අවස්ථා ලබාගැනීම වෙනුවෙන් දෙරට අතර අත්සන් කළ යුතු ගිවිසුම සඳහා ශ්‍රී ලාංකාවේ තානාපතිවරයා වසර තුනක් තිස්සේ මැදිහත් නොවන බව පවසමින් ඉතාලියේදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා.
ඒ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන්.