ක්ලීන් ශ‍්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සිදු කරනු ලබන බස් රථ පරීක්ෂා කිරීමට විරෝධය පළකරමින් දියත් කිරීමට යෝජිත වර්ජනය සම්බන්ධයෙන් හෙට දිනයේදී තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
එමෙන්ම සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ බස් රථ පරීක්ෂා කිරීම හමුවේ සේවකයින් මුහුණ දෙන ගැටළු පිළිබද සිය සංගමයේ නියෝජිතයින් සමග අද සාකච්ඡා කරන බවයි.
මේ අතර ක්ලීන් ශ‍්‍රී ලංකා වැඩසටහනට සමගාමීව දියත් කර ඇති විශේෂ රථ වාහන පරීක්ෂා කිරීම අදත් පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම වැඩසටහන යටතේ මගී බස් රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් නිලධාරින් රාජකාරියේ යොදවා ඇති අතර රථ වාහන වැරදි පිළිබඳ රියැදුරන් දැනුවත් කිරීම හා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු වනවා.
මේ අතර බස් රථ ධාවනය කිරීමේදී කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ ප්‍රකාශ කළා.
ඒ අනුව මින් ඉදිරියට පාපුවරුවේ ගමන් කරන කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.
බස් රථ ධාවනයේදී පවතින තරගකාරීත්වය හේතුවෙන් ඇතැම් කොන්දොස්තරවරුන් පවතින අවදානම නොසලකා හරිමින් පාපුවරුවේ ගමන් කරමින් සිටින බවට පැමිණිලි ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ නිතීරිතී හුවා දක්වමින් සිය කර්මාන්තය බිද වැට්ටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.
මේ අතර ක්ලීන් ශ‍්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සිදුවන බස් රථ පරීක්ෂා කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බස් රථ හිමිකරුවෙකු ද වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ද මාධ්‍ය හමුවේ අදහස් පල කලා.