Global Platform For All Sri Lankans

Lanka Hit News

මහ කන්නයේ මිලදී ගැනීම් වලට , ත්‍රිවිධ හමුදා සහාය

එළඹෙන මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීමට ත්‍රිවිධ හමුදා තාක්‍ෂණික සහය හා ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු සිදුකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව, මේ සම්බන්ධව සම්බන්ධීකරණ සාකච්ඡාවක් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජන 16) කොළඹ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී පවත්වා තිබුණා.

එම සාකච්ඡාවේදී ගබඩාවල පවතින අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයත් තාක්‍ෂණික දැනුමත් යන්ත්‍ර සුත්‍ර යොදා ගැනීම සඳහාත් අවධානය යොමුකර තිබෙනවා.

එමෙන්ම, අස්වනු නෙලන කාලය වන විට ගබඩාවන් හි පවතින අලුත්වැඩියා කටයුතු මේ මස අවසන් වීමට පෙර නිමකර මහකන්නයේ අස්වනු මිලදී ගැනීම සඳහා සුදානම් කිරීමටත්, වී මිලදී ගැනීමෙන් අනතුරුව එම ගබඩා පරිශ්‍රයන් සඳහා ආරක්‍ෂාව සැපයීමටත්, ආරක්‍ෂක අමාත්‍යාංශය සිය එකඟතාවය පළකර ඇති අතර Clean Sri Lanka හි තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙනු ඇති.

දිවයින පුරා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 209 පවතින අතර සතොස සතුව ගබඩා 12 ක ප්‍රමාණයක් පවතී. එම ගබඩාවන්හි පවතින අඩුපාඩුකම් හා ගතයුතු පියවර මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව රැස්ව සිටි පාර්ශ්වයන් එම සාකච්ඡාවෙදී අදහස් හුවමාරු කරගෙන තිබුණා.

මෙම අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා, වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ඒ එල් රාජගුරු මහතා, කලාප කළමණාකරුවන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්‍ෂ ජනරාල් – ප්‍රධාන මාණ්ඩලික, මේජර් ජෙනරල් දිනේෂ් උඩුගම ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගීව සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads