Global Platform For All Sri Lankans

2036 වසරේ ඔලිම්පික් සිහිනය දකින ඉන්දියාව ?

 

2036 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම ඉන්දියාවේ සිහිනය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

ඉන්දියාවේ 78වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන්, නවදිල්ලිහි රතු බල කොටුවේ ඊයේ (15) පැවති උත්සවයේදී හෙතෙම එය සඳහන් කර තිබෙනවා.

“2036 ඔලිම්පික් උළෙල පැවැත්වීම ඉන්දියාවේ සිහිනය, අපි ඒ සඳහා සූදානම් වෙමින් සිටිනවා” අග්‍රාමාත්‍ය මෝදි එලෙස වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරන්නේ, ඉන්දියාවට 2036 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලැබුණහොත් සත්කාරක නගරය ලෙසින් අහමදාබාද් නම් කරනු ඇති බවයි.

අහමදාබාද් යනු ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ දේශපාලනයේ බල කඳවුර ලෙසින් සැලකෙන ගුජරාට් ප්‍රාන්තයේ විශාලම නගරයයි.

ඉන්දියාව මීට පෙර ඉතිහාසයේ කිසිඳු දිනක ඔලිම්පික් උළෙලකට සත්කාරකත්වය ලබාදී නොමැති අතර, ඔවුන් අවසන් වරට බහු ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය ලබා දී ඇත්තේ 2010 වසරේ දිල්ලිහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලටයි.

කෙසේ වෙතත්, සිව් වසරකට වරක් පැවැත්වෙන ලොව අසිරිමත්ම ක්‍රීඩා සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ඔලිම්පික් උළෙලට මෙවර ප්‍රංශය සත්කාරකත්වය ලබාදුන් අතර,
එළබෙන 2028 වසරේදී එය අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම 2032 ඔලිම්පික් උළෙලට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නගරය සත්කාරක්වය දක්වනු ලබනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads