කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.
පොලිස් පරීක්ෂකවරයෙකු වන සැකකරු අසනිප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කළ දැනුම්දීමට අනුවයි අධිකරණය මෙම නියෝගය කර ඇත්තේ.
බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද කිරි ගවයන් 20 දෙනෙකු ඉකුත් වසරේ සැප්තැම්බර් මස 23 වැනිදා පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ එවකට වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායක විසින්.
අනතුරුව අදාළ කිරි ගවයින් 20 දෙනා රජයට අයත් සත්ව ගොවිපළකට භාරදෙන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා එදිනම නියෝග කර තිබුණා. පසුව අධිකරණයට නිර්නාමිකව ලිපියක් ලැබී තිබුණේ අදාළ කිරි ගවයින් යළි ජාවාරම්කරුවන්ටම භාරදීමට මෙම පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බවටයි.
ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පෙළොන්නරුව මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබු අතර පොලිස්පතිවරයා එම විමර්ශන අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට භාර දී තිබුණා.
එවැනි පසුබිමක සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පසුගියදා කටයුතු කර තිබුණත්, සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන එවක වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශන නිලධාරින්ට හැකිව තිබුණේ නැහැ.
ඒ අනුව සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් 11 වැනිදා නියෝග කළද, මේ වනවිට පුජාපිටිය පොලිසියට අනියුක්තව සේවය කරන ඔහු අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැරව ගොස් තිබුණා.
අදාළ නඩුව ඊයේ කැඳවු අවස්ථාවේදීද සැකකාර පොලිස් පරීක්ෂකවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර සැකකරු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තිය යටතේ කටයුතු කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
ඒ අනුව වරෙන්තුකරුට අයත් සියලු නිශ්චල සහ චංචල දේපළ තහනම් කර අධිකරණයට භාරගැනීමට නියෝග කෙරුණු අතර ඔහු ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත පවත්වාගෙන යන සියලු ගිණුම්වල පවතින තැන්පතු මුදල් තහනම් කර අධිකරණයට යොමු කරන ලෙස මහ බැංකු අධිපතිවරයාට නියෝග කරනු ලැබුවා. එමෙන්ම වරෙන්තුකරුට විදේශ ගමන් තහනමක් ද පැනවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අප්‍රේල් මස 29 වැනිදා හෝ ඊට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකාර පොලිස් පරීක්ෂකවරයාට යළි නියෝග කළා.
No commnets