මාතර, වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණය හමුවේ ඇති කරගෙන තිබෙන එකඟතාවය නීතිපතිවරයාගේ විරෝධතාවයට යටත්ව අප්‍රේල් මස 28 වැනිදා දක්වා දීර්ඝ කරන බව අභියාචනාධිකරණය අද (26) නියම කළා.
එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් අට දෙනකු විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් කැඳවීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් මෙම නියෝගය නිකුත් කළා.
මෙම පෙත්සමේ පෙත්සම්කරුවන් වශයෙන් නම්කර සිටි කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති ඇන්ස්ලම් සිල්වා ඇතුළු නිලධාරීන් හය දෙනෙකු මෙම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමට තමන්ට අවශ්‍ය නොවන බවත් ඒවා ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.
ඒ අනුව එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා අදාල පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නා.
ඉන් අනතුරුව පෙත්සන්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඒරාජ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා සහ ජගත් නිශාන්ත යන පෙත්සංකරුවන්ගේ පෙත්සම් වැඩිදුර ලේඛන ඉදිරිපත් කොට තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මහේෂිකා ද සිල්වා දැඩි විරෝධය පළ කළ අතර මෙම පෙත්සමට ඇතුළත්ව සිටි පෙත්සම්කරුවන් හය දෙනෙකු ඒවා මේ වන විටත් ඉවත් කරගෙන ඇති නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට තර්ක කළා.
එමෙන්ම මෙම නඩුකරයට පාදකවන මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ පූර්ණ වාර්තාව මෙම අධිකරණයට ඉදිරිපත් කරන බවට පෙත්සම්කරුවන් මීට පෙර අධිකරණයට දැනුම්දී තිබුණත් එය මේ දක්වා ඉදිරිපත් කර නොමැති බවත් ඒ අනුව පෙත්සම්කරුවන් කරුණු වසන් කිරීමක් සිදුකර ඇති බවත් ඇය තර්ක කර සිටියා.
ඒ අනුව අධිකරණය හමුවේ විධිමත් පෙත්සමක් නොමැති හෙයින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එරාජ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මාතර නඩු වාර්තාව ලබා ගැනීමේ ප්‍රමාදයක් හටගත් බවත් එම තොරතුරු සම්පූර්ණ ලේඛන ඉදිරිපත් කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අප්‍රේල් මස 28 වැනිදා කැඳවන ලෙස අධිකරණය නියම කළා.
No commnets