දේශීය

ශ්‍රී ලංකාව කළ මූල්‍යමය ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර

කඩිනම් මූල්‍ය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 206ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සිය එකඟතාවය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (19) රැස් වූ අතර එහිදීයි මෙසේ අදාළ මූල්‍ය පහසුකම ලබාදීමට එකඟතාවය පළකොට ඇත්තේ.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසුව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබුවා.

ඒ අනුව එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5වන සමාලෝචනය අවසන් කර ඇති අතර, ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණ ද එය කල්දමනු ලැබුවේ මෙම කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන්.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා IMF මෙහෙයුම් කණ්ඩායමක් 2026 මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා වන්නේ.

Shares: