දේශීය

මාරක අනතුරු කිහිපයකින් 03කට දිවි අහිමිවෙයි

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් තරුණයින් දෙදෙනක් සහ කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඊයේ (22) මෙම අනතුරු සිදුව තිබුණේ, මුල්ලේරියාව, අනුරාධපුර සහ ගිරිඋල්ල යන පොලිස් වසම්වලදීයි.

අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගල්වාන ප්‍රදේශයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන්ගත් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබු පදික කාන්තාව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත්තේ.

එලෙස මියගොස් ඇත්තේ, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවක්.

මේ අතර අනුරාධපුර – පුත්තලම මාර්ගයේ පොතානේගම ප්‍රදේශයේදී අනතුරක් සිදුව ඇත්තේ යතුරු පැදියක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයකට ඉස්සර කිරීමට යාමේදී එම මෝටර් රථයේ ගැටී පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියකද ගැටීමෙනුයි.

අනතුරින් පැදිකරුකරුවන් දෙදෙනා හා පසු පැදිකරුවෙකු බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන් අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පැදිකරුවෙකු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, පොතානේගම, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙක්.

මේ අතර නාරම්මල – ගිරිඋල්ල මාර්ගයේ මුතුගල ප්‍රදේශයේදී යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස මියගොස් ඇත්තේ, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙක්.

Shares: