උණුසුම් පුවත්

කොරතොට වෙඩි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඊයේ (1) රාත්‍රියේ තිදෙනෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබෙනවා.

අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ, කුලී පදනම මත ලබාගත් නිවසක සිටි පුද්ගලයින් තිදෙනෙකුට බවයි නවගමුව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

යතුරුපැදියකින් හා ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණා.

නිවසේ නාන කාමරය අසලදී වෙඩි ප්‍රහාරට ලක්ව සිටි එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම වෙඩි වැදීමෙන් රෝහල් ගතකර ඇත්තේ, අම්බලන්තොට වාඩියගොඩ සහ දෙමටගොඩ ගැවලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුයි.

ඔවුන් අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට හෝමගම මූලික රෝහලටයි ඇතුළත් කර ඇත්තේ.

ඉන් එක් අයෙකුගේ ශරීරයේ උණ්ඩ 4ක් සහ අනෙක් පුද්ගලයාගේ ශරීරයේ එක් උණ්ඩයක් ඇති බව සඳහන්.

එමෙන්ම පොලිසිය පැවසුවේ සිද්ධිය වූ ස්ථානයේ තිබී මිලිමීටර් 9 නවය වර්ගයේ උණ්ඩ කොපු 15ක් හමු වූ බවයි.

ඊයේ (01) රාත්‍රී 9.30 ත් 10ත් අතර කාලයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇතැයි පොලීසිය සැකපළ කරනවා.

වෙඩි වැදුණු තරුණයින් තිදෙනා අදාළ කුලී නිවසට මීට මාස එකහාමාරකට පමණ පෙරයි පදිංචියට පැමිණ ඇත්තේ.

ඔවුන් තිදෙනා මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ නව වසර උදාවීම නිමිත්තෙන් මත්පැන් සාදයක් පවත්වන අතරතුරදීයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, මෙය යම් පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලීසිය සැක කරනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලීසිය සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Shares: