උණුසුම් පුවත්විදෙස්

ඉරාන යුද්ධයෙන් බලපෑමට ලක්වූ ඉන්ධන සැපයුම – වියට්නාමය ජනතාවට “ නිවසේ සිට වැඩ කරන්න” යෝජනා කරයි

මධ්‍ය පෙරදිග කලාපයේ ඉරානය සම්බන්ධ යුධ තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් දැඩි ලෙස කඩාකප්පල් වී ඇති අතර, ඒ හේතුවෙන් වියට්නාමය තුළද ඉන්ධන මිල සහ සැපයුම් සම්බන්ධ අර්බුදයක් උද්ගත වී තිබෙනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වියට්නාමයේ වෙළඳ අමාත්‍යාංශය ව්‍යාපාරික ආයතනවලට තම සේවකයන්ට හැකි තරම් “Work From Home” ක්‍රමය අනුගමනය කිරීමට යොමු කරන ලෙස ඉල්ලා තිබෙනවා.

වියට්නාමය මැද පෙරදිගින් ඉන්ධන ආනයනය වැඩි වශයෙන් සිදු කරන රටක් වන බැවින්, ඉරානය සම්බන්ධ යුධ තත්ත්වය එරට බලශක්ති සැපයුමට බරපතළ බලපෑමක් එල්ල කර ඇති බව වාර්තා වනවා.

දත්ත අනුව පසුගිය මාසය අවසානයෙන් පසු වියට්නාමයේ පෙට්‍රල් මිල 32% කින්, ඩීසල් මිල 56% කින් සහ කෙරොසින් මිල 80% කින් ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම අගනුවර හැනෝයි ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් ඉදිරියේ දිගු වාහන පෙළක් ද දැකගත හැකි උනා.

මෙම තත්ත්වය අතර වියට්නාම රජය ජනතාව සහ ව්‍යාපාරික ආයතන වෙත ඉන්ධන රැස් කිරීම හෝ අධික ලෙස ගබඩා කිරීමෙන් වලකින්න ලෙසද දැනුම් දී තිබුණා.

එමෙන්ම වියට්නාම අග්‍රාමාත්‍ය ෆාම් මින් මින් කුවේට්, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයන් සමඟ දුරකථන සාකච්ඡා පැවැත්වූ බවත්, ඉන්ධන සහ ඛනිජ තෙල් සැපයුම් සුරක්ෂිත කර ගැනීමට උත්සාහ කරන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

තවද ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රතිචාර ලෙස වියට්නාමය ඉන්ධන ආනයන බදු තාවකාලිකව ඉවත් කිරීමටද තීරණය කර ඇති අතර, එය අප්‍රේල් අවසානය දක්වා බලපැවැත්වනවා.

මෙවැනි පසුබිමක් තුළ ගෝලීය යුධ උණුසුම ලෝක බලශක්ති වෙළඳපොළට පමණක් නොව රටවල් බොහෝවක දෛනික ජීවිතයටද දැඩි බලපෑම් එල්ල කරමින් පවතින බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

Shares: